නලින්ද ජයතිස්සගෙන් ප්‍රකාශ වුනු ආණ්ඩුවේ මාධ්‍ය මර්දන වෑයම ලහිරු ගත් ඡායාරූපයෙන් උත්සන්න වෙයි?

තමන්ට උත්තර දෙන්න බැරි ප්‍රශ්න අසන අය හැම ආණ්ඩුවකම නොරිස්සුමට ලක් වේ. මෙතෙක් කලක් ආණ්ඩු කළේ 76 වසරක ‘සාපලත්’ පාලකයින් බව ජනතා විමුක්ති පෙරමුණ උස් හඬින් කියා සිටියේ ය. මාධ්‍ය මර්දනය ජවිපෙ වේදිකාවේ වැඩි විනාඩි ගණනක් වෙන් වූ මාතෘකාවකි. ඒ 76 වසරක් විපක්ෂයේ සිටි ජනතා විමුක්ති පෙරමුණ ය. මේ පාලක ජාතික ජන බලවේගය ය. මෑතක දී රූපවාහිනී සංවාදයක දී ආණ්ඩුවේ කටකාරයා වන කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස දැඩි අපහසුතාවයකට පත් විය. එපමණක් නොව, කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවල දී නලින්ද ජයතිස්ස ඇමැතිවරයා ගොළු වූ අවස්ථා ද අපමණ ය. ඒ නිසා ම දැන් මාලිමා ආණ්ඩුවට ‘නිදහස්’ මාධ්‍යවේදීන් අප්‍රසන්න වෙමින් පවතී. ඒ නිසා දැන් ‘ආණ්ඩුවේ ලයිසන්’ තියෙන මාධ්‍යවේදීන්ට පමණක් කැබිනට් මාධ්‍ය හමුවට එක් කරගන්නට ආණ්ඩුව තීරණය කර තිබේ. ඒ පැරණි පුවතකි. මේ ඊයේ වාර්තා වූ නවතම ආන්දෝලනාත්මක පුවතකි.

ඒ අනුව, ලංකාදීප පුවත්පතේ ඡායාරූප මාධ්‍යවේදියකු ලෙස කටයුතු කරන ළහිරු හර්ෂණ ඊයේ (01) මාලිමා මැයි රැළියේදී ලබාගත් ඡායාරූපයක් පිළිබඳව ආන්දෝලනාත්මක තත්ත්වයක් උද්ගත වී තිබේ .

ඒ මාලිමාවේ මැයි රැළිය ඇමතූ ජනපති අනුර කුමාර දිසානායකගේ ඡායාරූපයක් ළහිරු සිය facebook ගිණුම හරහා මුදා හැරීමෙන් අනතුරුවය.

ඇතිව තිබූ තත්ත්වය නිසා අදාළ ඡායාරූපය සිය ගිණුමෙන් ඉවත් කිරීමට සිදුවීමෙන් අනතුරුව ළහිරු හර්ෂණ මෙසේ සටහනක් පළ කර තිබිණි.

” ඡායාරූපයක අන්තර්ගතය කියවීම තමාගේ මතය අනුව වෙනස් වේ . ෆොටෝ එක අයින් කිරීමට සිදුවිය . ”

යම්කිසි බලපෑමක් හමුවේ ඡායාරූප මාධ්‍යවේදියෙකු විසින් ලබාගත් ඡායාරූපයක් ඉවත් කිරීමට සිදුවීම මෙරට මාධ්‍ය නිදහස පිළිබඳ ප්‍රශ්නාර්ථයක් ඇති කරයි. වෙසෙසින්ම වේදිකා දෙදරවන්නට නිදහස් මාධ්‍යයේ අයිතිය සම්බන්ධයෙන් කතා පැවැත්වූ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට දැන් දැන් නිදහස් මාධ්‍ය සහ මාධ්‍යවේදීන් පෙනෙන්නේ තමන් අපහසුතාවට පත් කරන්නට එන ටිල්වින් සිල්වා භාෂාවේ ඇති ‘සතුරන්’ ලෙස ය. තමන්ට අපහාස කරන්නට එන විපක්ෂයේ බලවේග ලෙස ය.

මේ පිළිබඳ අදහස් දක්වමින් මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර ප්‍රකාශ කර ඇත්තේ ලහිරුගේ ඡායාරූපය යම්කිසි අවිචාරශීලී පිරිසකගේ බලපෑම් මත ඉවත් කිරීමට සිදුවූ බවයි.

ඡායාරූප ශිල්පියෙකුට, කාටූන් ශිල්පියෙකුට, ලේඛකයෙකුට, විචාරකයෙකුට, විවේචනයට හෝ විචාරයට, චිත්‍රණය කිරීමට නොහැකි දෙයියන් මෙහි නැති බවත් තරිඳු සිය සටහන තුළ සඳහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart