අනුර බලයට පත් වූ විගස ඇතිවූ හරිත බල විරෝධය සහ ගල් අඟුරු ඩීසල් ප්‍රේමය ගැන පාඨලී කියයි

එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දෙන්නේ වත්මන් විදුලි බල අර්බුදයට ප්‍රධාන හේතුව හරිත බලශක්තිය කෙරෙහි පවතින විරෝධය සහ ගල් අඟුරු හා ඩීසල් බලාගාර කෙරෙහි ඇති දැඩි ලැදියාව බව ය.

මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඇතැම් පුද්ගලයින් විදුලි බල මණ්ඩලයේ ඉහළ තනතුරුවල සිටියදී හරිත බලශක්ති ව්‍යාපෘතිවලට බාධා පමුණුවන බවට කතා පැතිර යන බවයි. එසේම, දැනට ලැබෙන ලාභ පවා ඉදිරියේදී අහිමි වීමේ අවදානමක් පවතින බව ද ඔහු සඳහන් කළේය.

තවදුරටත් අදහස් දැක්වූ රණවක මහතා කියා සිටියේ, දැනට ක්‍රියාත්මක වන සුළං බලාගාරවලින් බහුතරයක් ස්ථාපිත කර ඇත්තේ තම පාලන සමයේදී බව ය. එය රටට යහපත් බව ද පෙන්වා දෙන හෙතෙම, ඇතැම් බලපෑම් හේතුවෙන් එම බලාගාරවල විදුලි සැපයුම කපා හැරීමට දුරකථන ඇමතුම් ලැබෙන බවට ද චෝදනා කළේය. තමන්ගේ කාර්යාලයට පවා සූර්ය බල විදුලි සැපයුම කපා හරින ලෙස ඉල්ලීම් ලැබුණු බවත්, ලංකා විදුලිබල මණ්ඩලය සමඟ විධිමත් ගිවිසුම් පවා මේ සම්බන්ධයෙන් පවතින බවත් ඔහු අවධාරණය කළේය.

2023 වර්ෂයේදී පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරමින් රොහාන් සෙනෙවිරත්න මහතා පෙන්වා දී ඇත්තේ මෙගාවොට් 2600ක හරිත බලශක්ති ප්‍රමාණයක් කිසිදු අසමතුලිතතාවයකින් තොරව ජාතික විදුලිබල පද්ධතියට එකතු කළ හැකි බවයි. එහෙත් මේ වන විට එකතු වී ඇත්තේ මෙගාවොට් 1300ක් පමණක් බවත්, තවදුරටත් විශාල ප්‍රමාණයක් එකතු කිරීමේ හැකියාව පවතින බවත් රණවක මහතා පෙන්වා දුන්නේය.

වත්මන් විදුලි බල අර්බුදයට වගකිව යුත්තේ අනුර දිසානායක මහතා බලයට පත්වීමෙන් පසුව ඇති වූ හරිත බලශක්ති විරෝධය සහ ගල් අඟුරු හා ඩීසල් කෙරෙහි ඇති ප්‍රේමය බවට පාඨලී චම්පික රණවක මහතා දැඩි ලෙස චෝදනා කළේය. මීට පෙර තමන් ඇතුළු අනෙකුත් ඇමතිවරුන් සිටි සමයේ මෙවැනි ගැටලු කිසිවක් මතු නොවූ බවත්, මෙම තත්ත්වය සම්බන්ධයෙන් අනාගතයේදී රටේ මහජනතාව වගඋත්තර බඳිනු ඇති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart