පසුගිය දිනවල ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කළ අවබෝධතා ගිවිසුම්වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයක් ගෙන තිබේ. වෛද්‍ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු කිහිප දෙනෙකු ඊයේ (07) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේ එම ගිවිසුම් බලරහිත කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසයි.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ නීතිපතිවරයා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු කැබිනට් මණ්ඩලයයි.
පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ මෑතකදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කළ මෙම අවබෝධතා ගිවිසුම් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මෙන්ම ජාත්‍යන්තර නීතියට ද පටහැනි බවයි.
තවද, මෙම ගිවිසුම්වල අඩංගු කරුණු සම්බන්ධයෙන් මෙතෙක් මහජනතාව දැනුවත් කර නොමැති අතර, එය ජනතාවගේ ව්‍යවස්ථාපිත අයිතීන්ට බාධාවක් බව ද පෙත්සම්කරුවෝ චෝදනා කරති.
මෙම ගිවිසුම් මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට සහ භෞමික අඛණ්ඩතාවයට හානි සිදුව ඇති බවත්, මෙම ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර අත්සන් කිරීමට රජය ගත් ක්‍රියාමාර්ගය නීති විරෝධී බවත් පෙත්සමේ සඳහන් වේ.
එබැවින්, මෙම ක්‍රියාවන් තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත්, අදාළ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියි.
මීට අමතරව, සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම හේතුවෙන් වගඋත්තරකරුවන්ගෙන් රුපියල් ලක්ෂ 20 ක වන්දියක් අයකර දෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සමේ වැඩිදුරටත් සඳහන් කර ඇත.