තරුණයෙකුට පහර දීමේ සිදුවීමක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින ටියුෂන් ගුරුවරියක් වන හයේෂිකා ප්‍රනාන්දු සෙවීම සඳහා පොලිස් කණ්ඩායම් තුනක් මේ වන විට යොදවා සිටින බව පොලීසිය කියයි.
පහ වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා උපකාරක පන්ති පවත්වන ඇය ‘ටීචර් අම්මා’ ලෙස ප්‍රකට වී සිටින අතර, පසුගිය සතියේ ඇය විසින් පහර දෙනු ලැබ තරුණයෙකු මීගමුව රෝහලට ඇතුලත් කර ඇති බව වාර්තා විය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් කටාන පොලීසිය විසින් මූලික විමර්ශන ආරම්භ කොට ඇති අතර, මෙම ගුරුවරිය විසින් අදාළ තරුණයාගේ ලිංගප්‍රදේශයට පහර දී ඇති බවට චෝදනා එල්ල වී තිබේ. ඇයගේ සැමියා සහ කළමනාකරු බව කියන පුද්ගලයින් ද මෙම පහර දීමට සම්බන්ධ වී ඇති බව කියැවේ.
තම කාර්ය මණ්ඩලයේ තරුණියකට පරිගණක මෙහෙයුම් පිළිබඳව පුහුණු කිරීමට උපකාරක පන්ති ගුරුවරිය විසින් පත් කරන ලද තරුණයෙකු එම තරුණියට ලිංගික අතවර කර ඇති බව දැනගන්නට ලැබී තිබෙන බවත්, මෙම සිද්ධිය හේතුවෙන් උපකාරක පන්ති ගුරුවරිය සහ තවත් දෙදෙනෙකු විසින් එම තරුණයාට පහර දී ඇති බවත් වාර්තා වේ.
පොලිසිය පසුගිය සතියේ හයේෂිකාගේ සැමියා සහ කළමනාකරු අත්අඩංගුවට ගත් අතර, ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හෙට (14) දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග කර ඇත.
පොලිසියට අනුව, එම ගුරුවරිය සිය නිවසින් පලා ගොස් ඇති අතර ඇයගේ ජංගම දුරකථනයෙන් සියලු සන්නිවේදන මාර්ග අවහිර කර ඇත.