දිවයින පුරා ලුණු හිඟයක් ඇතිව තිබෙන බව වාර්තා වේ. ලුණු ආනයනය ප්‍රමාද වීම ඊට හේතු වී ඇති බව ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.
ලුණු නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ සඳහන් කරන්නේ මෙට්‍රික් ටොන් 30ක ලුණු තොගයක් ආනයනය කිරීමට රජය තීරණය කර තිබුණ ද එය ප්‍රමාද වී ඇති බව ය. මේ හේතුවෙන් දැනට වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් දක්නට ලැබෙන බව ඔහු වැඩිදුරටත් පැවසීය.
කෙසේ වෙතත්, ඉදිරි සතිය තුළ අදාළ ලුණු තොග දිවයිනට ළඟා වූ පසු පවතින ලුණු හිඟය පාලනය වනු ඇතැයි ගණක අමරසිංහ විශ්වාසය පළ කළේය.
මේ අතර, පාරිභෝගිකයින් සහ වෙළෙඳුන් චෝදනා කරන්නේ වෙළෙඳපොළ තුළ ලුණු මිල ද ඉහළ ගොස් ඇති බව ය. වාර්තා වන පරිදි, කැට ලුණු කිලෝ ග්‍රෑම් 1ක පැකට්ටුවක් රුපියල් 450ත් 500ත් අතර මිලකට අලෙවි වෙමින් පවතී. ඇතැම් පාරිභෝගිකයින් මේ සම්බන්ධයෙන් සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ද අදහස් පළ කර තිබුණි.
මේ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු සහ තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර සඳහන් කරන්නේ ලුණු මිල ගණන් සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරියට ද පැමිණිලි ලැබී ඇති බව ය. ඒ අනුව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස වැටලීම් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව ද ඔහු පැවසීය.