ශක්‍යතා අධ්‍යයනයකින් තොරව රුපියල් මිලියන 700ක කාබනික පොහොර ව්‍යාපෘතියක්

කිසිදු ශක්‍යතා අධ්‍යයනයක් සිදු නොකොට රුපියල් මිලියන 700 ක වියදමින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් 2021 වසරේ ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගත් කාබනික පොහොර ව්‍යාපෘතිය බරපතළ අක්‍රමිකතාවන්ට මුහුණ දී ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ දී (කෝප්) අනාවරණය වී තිබේ.

මෙම ව්‍යාපෘතිය සඳහා මුදල් ලබාදීම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා පනතට පටහැනි බවට එම සභාවේ නීති හා මුදල් අධ්‍යක්ෂවරුන් ලිඛිතව නිරීක්ෂණ ලබා දී තිබියදීත්, අමාත්‍යාංශ මට්ටමින් ලැබුණු නියෝග හේතුවෙන් මුදල් නිදහස් කිරීමට සිදු වූ බව කොමිෂන් සභාවේ මුදල් අධ්‍යක්ෂවරයා කෝප් කමිටුවට පවසා ඇත. එසේ නීති විරෝධී බව පෙන්වා දීම හේතුවෙන් තමන්ට පීඩාවන් සිදු වූ බවද නීති අධ්‍යක්ෂවරයා කමිටුව හමුවේ ප්‍රකාශ කර තිබේ.

2022 සහ 2023 වර්ෂයන් සඳහා වූ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පරීක්ෂා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීරගේ සභාපතිත්වයෙන් පසුගිය 08 වැනි දා රැස් වූ කෝප් කමිටුවේදී මෙම කරුණු අනාවරණය විය.

මෙහිදී කතා කරමින් කමිටු සභාපතිවරයා පෙන්වා දුන්නේ මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 700 ක මුදලක් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් මගින් අනුමත කරගෙන තිබුණද, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් ඒ සඳහා රුපියල් මිලියන 350 ක් නිදහස් කර ඇති බවයි. එම මුදලින් රුපියල් මිලියන 302 ක් මේ වන විටත් වියදම් කර ඇති නමුත්, ව්‍යාපෘතියෙන් ලැබී ඇති ආදායම රුපියල් මිලියන 22 ක් වැනි සුළු මුදලක් බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

දිවයිනේ ස්ථාන 35 ක මෙම කාබනික පොහොර නිෂ්පාදනය ආරම්භ කිරීමට මුදල් ලබා දී තිබුණද, දැනට ස්ථාන පහක ඉදිකර ඇති ගොඩනැගිලි කිසිදු ප්‍රයෝජනයක් නොගෙන පවතින බවද කෝප් කමිටුවේදී හෙළි විය.

මෙම අසාර්ථක ව්‍යාපෘතිය තුළින් මූල්‍ය වංචාවක් සිදුවී ඇත්ද යන්න පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට සහ අදාළ නීතිමය කටයුතු සඳහා අවශ්‍ය ආයතන වෙත පැමිණිලි කිරීමට සූදානම් බව කමිටු සභාපතිවරයා මෙහිදී අවධාරණය කළේය. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය මේ වන විටත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව එම අමාත්‍යාංශයේ ලේකම්වරයා කමිටුවට දැනුම් දුන්නේය.

මේ අතර, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොරව ආවරණ අනුමතියට යටත්ව යැයි සඳහන් කරමින් සේවකයින් සඳහා ස්ථිර නව පත්වීම් ලබා දීම සම්බන්ධයෙන්ද කෝප් කමිටුවේදී දීර්ඝ ලෙස සාකච්ඡා විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart