රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සිහිපත් කරමින් වාර්ෂිකව පැවැත්වෙන ජාතික රණවිරු සැමරුම් උත්සවය හෙට (මැයි 19) බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වීමට නියමිත ය.
ආරම්භයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම උත්සවයට සහභාගී නොවන බවට ප්‍රකාශ වීමත් සමඟ ජනතාවගේ දැඩි විරෝධයක් එල්ල වූ අතර, එම විරෝධය හමුවේ ජනාධිපතිවරයාගේ සහභාගිත්වය තහවුරු වී තිබේ.
රණවිරු සේවා අධිකාරියේ සභාපති බ්‍රිගේඩියර් එස්.බී. කොහොන මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ, “රටේ ස්වෛරීභාවය, ඒකීයභාවය, අඛණ්ඩතාවය සහ සියලුම පුරවැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සටන් වැද දිවි පිදූ රණවිරුවන් සිහිපත් කරන, ජාතියේ උත්තමාචාරය, ගෞරවය ඔවුන් වෙත පිළිගන්වන ජාතික රණවිරු දිනය මෙවරත් හෙට මේ මාසේ දහනම වෙනිදා බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වෙනවා. හවස හතරේ සිට හය දක්වා මේ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. මේ විරුවන්ට ගෞරව දැක්වීම පිණිස හෙට දිනයේ මේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා හැටියට අපේ ජනරජයේ ගරු සහ සන්නද්ධ සේනාධිනායක අනුර කුමාර දිසානායක මැතිතුමා සහභාගී වීමට නියමිතයි.” යනුවෙනි.
මීට අමතරව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, මාර්ෂල් ඔෆ් ලීඩ් වසන්ත කරන්නාගොඩ සහ මාර්ෂල් ඔෆ් දි එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක යන මහත්වරුන් ද මෙම උත්සවයට සහභාගී වීමට නියමිතය.
ත්‍රස්තවාදය අවසන් කොට රටට සාමය උදා කර දීම සඳහා දිවි කැප කළ, ආබාධිත වූ සියලු රණවිරුවන් සැමරෙන මෙම උත්සවය සඳහා මෙතෙක් පදවිප්‍රාප්ත සියලු ශ්‍රී ලාංකේය රාජ්‍ය නායකයින් සහභාගී වීමට කටයුතු කළ හ.