තුසිත හල්ලොලුවට වෙඩි තැබීම ගැන සීසීටීවී විමර්ශනයක්..!

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරි අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව ගමන් කරමින් සිටි ජීප් රථයට ඊයේ (17) රාත්‍රියේ නාරාහේන්පිට දී එල්ල වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය සහ නාරාහේන්පිට පොලීසියේ කණ්ඩායම් හතරක් CCTV දර්ශන පරීක්ෂා කරමින් සිටින බව පොලීසිය පවසයි.

පොලිස් ප්‍රකාශකයා පැවසුවේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු ජීප් රථය හරස් කර වෙඩි තබා තමන්ව බිය ගන්වා එහි දොරවල් විවෘත කර ඇති බවත්, පසුව පහර දී තමන් සතුව තිබූ ලිපි ගොනුවක් රැගෙන පලා ගිය බවත් හල්ලොලුව පොලිසියට ප්‍රකාශ කර ඇති බවයි.

මෙම සිදුවීමේදී සුළු තුවාල ලැබූ තුසිත හල්ලොලුව සහ ඔහුගේ නීතිඥ දිනේෂ් දොඩංගොඩ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ පැමිණි පුද්ගලයින් ජීප් රථයේ ඉදිරිපස වීදුරුවටද යම් ආයුධයකින් පහර දී ඇති බවට නිරීක්ෂණය වී ඇති බවයි. අද උදෑසන SOCO නිලධාරීන් ද එම ස්ථානයට පැමිණ වැඩිදුර විමර්ශන සිදු කර ඇත.

වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත මෙම සිද්ධියේ ඉදිරි විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසයට භාර දී තිබේ.

තුසිත හල්ලොලුව 2017 සිට 2019 දක්වා ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ අතර, රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයේ සිටියදී ඔහුගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ද සේවය කළේය. මෑතකදී, ජනාධිපති අනුර කුමාර දිසානායක විදේශ රටක මුදල් ආයෝජනයක් කර ඇතැයි ඔහු කළ ප්‍රකාශයක් මතභේදයට තුඩු දුන් අතර, ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගෙන් ප්‍රකාශයක් ද ලබාගෙන තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart