අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියට එල්ල වී ඇති මරණ තර්ජන පිළිබඳ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල අද (20) පාර්ලිමේන්තුවේදී ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සිදු කළේය. මෙම තර්ජන සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන පිළිබඳව අමාත්‍යවරයා සවිස්තරාත්මකව කරුණු දැක්වීය.
අගමැතිනියට විද්‍යුත් තැපෑලෙන් මරණ තර්ජන
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියට මරණ තර්ජන ඇතුළත් email පණිවුඩයක් ලැබී ඇති බව අමාත්‍ය විජේපාල පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම්වරයෙකු මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ගොනු කර ඇති බවත්, එම විද්‍යුත් තැපෑල සම්බන්ධයෙන් Google ආයතනයෙන් වාර්තාවක් ඉල්ලා සිටි බවත් අමාත්‍යවරයා පැවසීය. එම වාර්තාව මේ වන විට ලැබී ඇති බවත්, විද්‍යුත් තැපෑලේ IP ලිපිනය නෙදර්ලන්තය සහ ජර්මනිය සමඟ සම්බන්ධ වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය. “වාර්තාව ලැබුණු පසු අපි අධිකරණයට කරුණු ඉදිරිපත් කරනවා,” අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.