ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් මනෝජ් නදීෂණ අමරසිංහ සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පරිපාලන) තනුජා ආරියරත්න යන ඊයේ (21) දින සේවක විරෝධතා හමුවේ කාර්යාල පරිශ්‍රයෙන් පිටව ගොස් තිබේ. ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ, සේවකයන් සමඟ පැවති දැඩි ගැටුම් හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වූ බවයි.
ගැටුමට මුල කුමක්ද?
ප්‍රධාන වශයෙන් මෙම ගැටලුවට හේතුව වී ඇත්තේ පරිපාලන අංශය භාර නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනුජා ආරියරත්න සේවකයන් සමඟ නිරන්තරයෙන් ගැටුම් ඇති කර ගැනීම සහ ඔවුන්ට පහත් ලෙස සැලකීමයි. පෙර සිටි සභාපති සෙනේෂ් බණ්ඩාර දිසානායකගේ සමයේ පත් කරන ලද ඇය, සේවකයන්ට බැණ වැදීම සහ ඔවුන්ව පහත් කොට සැලකීම සම්බන්ධයෙන් සේවකයන් අතර දැඩි කලකිරීමක් පැවති බව වාර්තා වේ. අධ්‍යක්ෂ ජනරාල් මනෝජ් නදීෂණ අමරසිංහ නිරන්තරයෙන් ඇයව ආරක්ෂා කිරීමට කටයුතු කර ඇති බැවින්, සේවකයන්ගේ අප්‍රසාදය ඔහු කෙරෙහි ද යොමුවී ඇත.
සාකච්ඡා අසාර්ථක වෙයි
පෙරේදා (20) සවස සහකාර අධ්‍යක්ෂවරුන් ඇතුළු පිරිසක් අධ්‍යක්ෂ ජනරාල්වරයා සමඟ සාකච්ඡාවක් පැවැත්වූ නමුත්, එහිදී ද ඔහු අදාළ නිලධාරිනිය වෙනුවෙන් පෙනී සිටිමින් ගැටලුවලට විසඳුම් ලබා දී නොමැත.
ඊයේව්(21) උදෑසන ජාතික රූපවාහිනියේ වත්මන් සභාපති ගිහාන් ද සිල්වා මහතා සමඟ සේවකයන් සාකච්ඡාවක් පවත්වා ඇත. එහිදී සභාපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ මෙම නිලධාරීන් දෙදෙනා තම පාලන සමයේ පත් කරන ලද දෙදෙනෙකු නොවන බැවින්, ගැටලුවට විසඳුම් දීමට සතියක කාලයක් අවශ්‍ය බවයි. මෙම තත්ත්වය තුළ සේවකයන් එක්ව අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ පරිපාලන අංශය භාර නිලධාරිනියට විරෝධතාවක් පළ කර ඇති අතර, පසුව ඔවුන් දෙදෙනා කාර්යාලයෙන් පිටව ගොස් තිබේ.
දේශපාලනයක් නොව, සේවක ගැටලුවක්
මෙය හුදෙක් දේශපාලනික ගැටලුවක් නොව, ආයතනයේ පොදුවේ සේවකයන්ට බලපෑ ගැටලුවක් වෙනුවෙන් සියලු සේවකයන් එක්ව ගත් ක්‍රියාමාර්ගයක් බව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩිදුරටත් අවධාරණය කරයි.