පුරප්පාඩුව පවතින විගණකාධිපති තනතුර සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් යෝජනා කර තිබූ ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වන එච්.ටී.පී. චන්දන මහතාගේ නම ඊයේ (21) දෙවැනි වතාවටත් ව්‍යවස්ථා සභාවේදී ප්‍රතික්ෂේප වී තිබෙන බව වාර්තා වේ.
ඡන්ද විමසීම සහ පෙර දින තත්ත්වය
ඊයේ (21) දිනයේ පැවති ඡන්ද විමසීමේදී චන්දනගේ නමට පක්ෂව ඡන්ද 3ක් ලැබී ඇති අතර, විපක්ෂව ඡන්ද 5ක් හිමි වී තිබේ. පෙරේදා (20) දිනයේදී ද ජනාධිපතිවරයාගේ මෙම නිර්දේශයට ව්‍යවස්ථා සභාවේ එකඟතාව පළ වී නොමැති අතර, ඊයේ දිනයේදී සභාව යළි රැස්වූයේ ඒ සම්බන්ධයෙන් නැවත සලකා බැලීම සඳහායි.
විරෝධයට හේතු
සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් චෝදනා කළේ, එච්.ටී.පී. චන්දන මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ සමයේ ඔහුට පහළ වසරක ඉගෙනුම ලැබූ අයෙකු බවයි. එසේම, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වසර පහක පමණ විගණන අධ්‍යක්ෂ පළපුරුද්දක් ඇති අයෙකු මෙම තනතුරට පත් කිරීමට නුසුදුසු බවද රහුමාන් මහතා සඳහන් කළේ ය.
මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පෙන්වා දුන්නේ, විගණකාධිපති සේවයේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා සිටියදී, ඒ සඳහා බාහිරින් පුද්ගලයෙකු පත් කිරීමට රජය කටයුතු කරමින් සිටින බවයි.
වෘත්තීය සමිතිවල විරෝධය
රාජ්‍ය විගණන සේවයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන ධර්මපාල ගම්මන්පිල විගණකාධිපති ධුරයට පත් නොකර, වෙනත් බාහිර පුද්ගලයෙකු පත් කිරීමට දැරෙන උත්සාහයට ජාතික විගණන කාර්යාල වෘත්තිය සමිති එකමුතුව දැඩි විරෝධයක් පළ කරමින් සිටිනවා.
පුරප්පාඩු තත්ත්වය සහ සමාන අර්බුද
හිටපු විගණකාධිපතිවරයා විශ්‍රාම යාමෙන් පසු, මේ වනවිට දින 42ක කාලයක සිට එම තනතුර පුරප්පාඩුව පවතිනවා. දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ලෙස පත් කිරීමේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද මේ ආකාරයේම අර්බුදයකට මුහුණ දුන්නේය.