සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ඊයේ (23) එම පක්ෂයේ බණ්ඩාරවෙල ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වූ බව වාර්තා විය.
අද (24) පෙරවරුව වන විට මාතලේ දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගයේ ආසන සංවිධායකවරුන් තිදෙනෙක් තම සංවිධායක ධුරවලින් ඉවත් වීමට තීරණය කර ඇති බව සඳහන් වේ.
ඒ අනුව, මාතලේ සංවිධායක වසන්ත අලුවිහාරේ, දඹුල්ල සංවිධායක චම්පික විජේරත්න, රත්තොට ආසන සංවිධායක රංජිත් අළුවිහාරේ යන අය සමගි ජන බලවේගයේ ආසන සංවිධායක ධුරවලින් ඉල්ලා අස්වන බව රංජිත් අළුවිහාරේ විසින් පවසා තිබේ.
ඔහු වැඩිදුරටත් දක්වා ඇත්තේ, මෙම පියවර ගන්නා ලද්දේ දිගින් දිගටම පක්ෂය මගින් සිදු කරන ලද විවිධ කෙනෙහිලි කම් නිසා බව ය. තවත් බොහෝ දෙනෙකු තම ආසන සංවිධායක ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි භාරදීමට නියමිත බව ද හෙතෙම සඳහන් කරයි.
රෝහිණී කවිරත්න සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් නායකත්වය දරන අතර, වසන්ත සහ රංජිත් යනු එවකට එක්සත් ජාතික පක්ෂයේ මාතලේ ආධිපත්‍යය දැරූ හිටපු අමාත්‍ය ඇලික් අළුවිහාරේගේ පුත්‍රයන් ය.
ජේ.පී. විජේරත්න බණ්ඩා එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍යවරයාගේ දියණිය වන රෝහිණී කවිරත්න; දිවංගත පී.බී. කවිරත්න නම් තවත් එජාප හිටපු අමාත්‍යවරයෙකුගේ ලේලිය ද වෙයි. ඇගේ සැමියා අභාවප්‍රාප්ත සංජීව කවිරත්න එක්සත් ජාතික පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකි.
මාතලේ සමගි ජන බලවේගයේ ආධිපත්‍යය උදෙසා මේ පාර්ශව දෙක අතර පවතින අර්බුදය මෙම ඉල්ලා අස්වීම්වලට හේතු වන්නට ඉඩ ඇති බව දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසේ.