ලෙඩක් නැතිවත් නඩුවට නාවෙ බැසිල් හොරෙක් කියලා හිතුවද?

අමෙරිකාවේ සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට ලබන නොවැම්බර් 21 වැනිදා මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා ඊයේ (මැයි 23) නියෝග කළේ ය. මෙම නියෝගය ලබා දුන්නේ, නීති විරෝධී ලෙස රුපියල් ලක්ෂ 500ක් යොදවා මාතර ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් පවතින නඩුවකට අදාළව ය.


නඩුවේ තොරතුරු සහ ඉදිරිපත් වූ කරුණු

නීති විරෝධී ක්‍රියාකාරකමකින් උපයාගත් බව කියන රුපියල් ලක්ෂ 500ක් යොදාගෙන මාතර බ්‍රවුන්ස් හිල්හි අක්කර එකහමාරක ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව අද මාතර මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවනු ලැබීය.

ඇප මත මුදා හැර සිටි සැකකරුවන් දෙදෙනෙකු අධිකරණයේ පෙනී සිටියත්, බැසිල් රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳගේ සහෝදරිය වන අයෝමා ගලප්පත්ති අධිකරණයේ පෙනී සිටියේ නැත.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට දන්වා සිටියේ, බැසිල් රාජපක්ෂට 2024 සැප්තැම්බර් 18 දක්වා පමණක් විදේශගත වීමට අවසර ලබා දී තිබුණත්, ඔහු ඊයේ අධිකරණයේ පෙනී නොසිටි බව ය. සාධාරණ හේතුවකින් තොරව අධිකරණය මඟහැරීම සම්බන්ධයෙන් ඔහුගේ ඇප අවලංගු කර, වරෙන්තු නිකුත් කරන ලෙස ඇය ඉල්ලා සිටියා ය.

එමෙන්ම, බැසිල් රාජපක්ෂ ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාවල පරස්පරතා ඇති බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය පෙන්වා දුන්නා ය. එම වාර්තාවල දැක්වෙන්නේ බෙල්ලේ සුළු උළුක්කුවක් සහ මාංශ පේශිවල සුළු ඇදීමක් පමණක් බවත්, එය සතියකින් දෙකකින් සුව වන බව වෛද්‍යවරුන් පවසා ඇති බවත් ඇය කියා සිටියාය. එසේම, වෛද්‍ය වාර්තා 2025 මාර්තු 18 වන දින නිකුත් වී තිබියදී, මාස 6ක් ගුවන් ගමන්වලින් වැළකී සිටීමට වෛද්‍ය නිර්දේශයක් තිබුණා නම් මැයි 18 සහ 19 දිනවල ගුවන් ටිකට්පත් වෙන් කළේ ඇයි දැයි ඇය ප්‍රශ්න කළා ය. මේ නිසා වෛද්‍ය වාර්තා පිළිනොගෙන සැකකරුගේ ඇප අවලංගු කරන ලෙස ද ඇය ඉල්ලා සිටියා ය.

බැසිල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා, “මගේ සේවාදායකයා ලෙඩක් නැතුවත් ආවේ නැහැ කියලා පෙන්වන්න හදන්නේ හොරෙක් කියලා ද? නමුත් මේවා අමෙරිකාවේ වෛද්‍ය වාර්තා. අපේ වෛද්‍යවරු වගේ හොරු නැහැ. ඊළඟ නඩු දිනයේ මගේ සේවාදායකයා අධිකරණයට පැමිණෙනවා” යනුවෙන් තරමක් ආවේගශීලීව ප්‍රතිචාර දැක්වීය.


මහේස්ත්‍රාත්වරයාගේ තීරණය

දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලූ මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස සිය නියෝගය ප්‍රකාශයට පත් කළේ ය. ඔහු කියා සිටියේ, “මේ නඩුව දීර්ඝ කාලයක් තිස්සේ අධිකරණයේ සලකා බැලෙන නඩුවක්. එකී කාලය පුරාවටම සැකකරු අධිකරණයේ පෙනී සිට තිබෙනවා. ඒ නිසා ඇප අවලංගු කිරීමක් හෝ වරෙන්තු නිකුත් කිරීමක් කරන්නේ නැහැ. ඒ අනුව ඉදිරි නඩු දිනයේ අධිකරණයේ පෙනී සිටින ලෙස සැකකාර බැසිල් රාජපක්ෂට නියෝග කරනවා” යනුවෙනි.

මෙම නඩුව ලබන නොවැම්බර් 21 වනදා යළි කැඳවීමට නියමිත ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart