හෙළ සිනමාවේ නිළි රැජන වූ මාලිනී ෆොන්සේකා දැයෙන් සමුගැනීමත් සමග පසුගිය කාලයේ ඇය ජනාධිපති අරමුදලින් මුදල් ලබා ගැනීමක් සම්බන්ධයෙන් දේශපාලන ලෝකයේ කතාබහට ලක්විය. විශේෂයෙන් ම අමාත්‍ය නලින්ද ජයතිස්ස මේ ආකාරයෙන් ජනාධිපති අරමුදලින් මුදල් ලබා ගැනීම මුදල් අවභාවිතාවක් බවට හුවා දක්වමින් ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කරන ලද අතර, එම ලැයිස්තුවේ මාලිනී ෆොන්සේකාගේ නම සඳහන් වූයේ W.M.S. ෆොන්සේකා යනුවෙනි. එය “W.M.S. ෆොන්සේකා, මේ සරත් ෆොන්සේකා නෙවේ” යනුවෙන් උපහාසාත්මකව කරුණු දැක්වීමට නලින්ද කටයුතු කළේ මාලිනියට ලක්ෂ 55 ක් ලබා දීම ජනාධිපති අරමුදලෙන් මුදල් අවභාවිත කිරීමක් බවට පෙන්වා දෙමිනි.
කෙසේවෙතත්,මාලිනී ෆොන්සේකා රෝගී තත්ත්වයන් හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයට පත්ව සිටි අවස්ථාවේ, ඉන්දියාවේ රෝහලකින් ශල්‍යකර්මයක් සිදු කිරීමට අවශ්‍ය රුපියල් ලක්ෂ 150කට අධික මුදලක් එකතු කර ගැනීමට ඇගේ ළඟම හිතවතුන් පිරිසක් උත්සාහ කර තිබිණි. මේ සම්බන්ධයෙන් රවීන්ද්‍ර රන්දෙණිය, සමන් අතාවුදහෙට්ටිගෙන් විමසා ඇති අතර, සමන් අතාවුදහෙට්ටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ සම්බන්ධීකරණය කර ජනාධිපති අරමුදලින් රුපියල් ලක්ෂ 55ක මුදලක් මාලිනී ෆොන්සේකා වෙනුවෙන් ඉන්දීය රෝහලට ගෙවීමට කටයුතු කර ඇත.
මේ සම්බන්ධයෙන්, ජ්‍යෙෂ්ඨ සිනමාවේදී අශෝක හඳගම තම ෆේස්බුක් ගිණුමෙහි සංවේදී සටහනක් තබා තිබේ. එහි මෙලෙස සඳහන් වේ:
“අපේ සිනමාවේ ‘නිළි රැජින’ මාලිනී ෆොන්සේකා ජනාධිපති අරමුදලින් රුපියල් ලක්ෂ පනහක් අවභාවිතා කළේ යැයි ඇතැමුන් චෝදනා කරනවා. එක් අතකින් රැජිනකට අන්දා ගරු බුහුමනට ලක් කෙරෙන මේ ගැහැණියම, අනික් අතින් හෙරක සේ ගෙන අවමන් කෙරෙනවා. මේ අවභාවිතාව ගැන තරමක් හෝ දන්නා මම ඒ දන්නා දේවල් මෙසේ ලියා තැබීම, දශක පහකට වඩා අපේ සිත් සතන් පිනවූ, හෙට අවසන් ගමන් යන ඇයට හිතේ කහටක් නැතුව සමුදෙන්නට හේතු වේවි.
තම ජීවිතයේ අවසාන භාගයේ ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් සිටි ඇයව ඉන්දියාවේ ආරෝග්‍යශාලාවකින් ශල්‍ය කර්මයක් කරවා ගැනීම සඳහා කැඳවාගෙන ගියේ ඇයට ඉතා සමීප හිතවතුන්. එම ශල්‍යකර්මය සඳහා ගෙවිය යුතු මුදල රුපියල් ලක්ෂ 150 කට අධිකයි. මෙයට ජනාධිපති අරමුදලින් කිසියම් සහයෝගයක් ගත හැකිදැයි සමන් අතාවුදහෙට්ටි හිතවතාගෙන් විමසා ඇත්තේ රවීන්ද්‍ර රන්දෙණියයි. සමන්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග සම්බන්ධීකරණය කර ජනාධිපති අරමුදලින් රුපියල් ලක්ෂ පනස් පහක (55) මුදලක් මාලිනී වෙනුවෙන් ඉන්දියානු ආරෝග්‍යශාලාවට ගෙවීමට කටයුතු කළා.
ජනාධිපති අරමුදලෙන් පුද්ගලයකුට ලබා ගත හැකි උපරිම මුදල රුපියල් ලක්ෂ 10 යි. විශේෂ තත්ත්වයන් යටතේ රුපියල් ලක්ෂ 30ක් දක්වා අනුමත කළ හැකියි. සිංහල සිනමාවේ නිළි රැජින වෙනුවෙන් රුපියල් ලක්ෂ 55 ක් වෙන් කිරීම පාප කර්මයක්ද? අසල්වැසි ඉන්දියාවේ ලතා මංගේෂ්කර්, රවී ශංකර්, සත්‍යජිත් රායි වැන්නවුන් තම ජීවිතයේ අවසාන කාලයේ රජය විසින් රැකබලා ගත් අයුරු මතකය.
මාලිනීලා නිළි වෘත්තියේ යෙදුණු සමයේ, අපේ සිනමාවේ ඊනියා ස්වර්ණමය යුගයේ, නළු නිළියන් හම්බ කළේ ජනප්රසාදය මිස සල්ලි නෙවේ. ඔවුන් තම ජීවිතවල අවසන් භාගයේ දී ගෙවූ දුක්ඛිත ජීවිත ද ගැන අප අසා ඇත. මා දන්නා තරමින්, තමන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක් ලෙස සිටින සමයේ ලංකා බැංකුවෙන් ණයක් අනුමත කරගෙන ජීවිතයේ අවසන් භාගයේදී තමාගේම නිවසක පදිංචි වෙන තෙක්, මාලිනී ද සිටියේ කුලී නිවසකය.
මාලිනී ගේ අවසන් උපන්දින සැමරුම පසුගියදා සිනේස්ටාර් මූලිකත්වයෙන් නවලෝක auditorium හිදීත් ඊට සමගාමීව ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ආකාස කුසුම් නැවත ප්‍රදර්ශනය සඳහා නිදහස් කිරීමෙනුත් පැවැත්වුණා. තම අතීත මතකයන් සමඟ මාලිනී සිනා වෙවී අඬනවා අපි දැක්කා. ඇය එදා සතුටු උනා. ඇගෙන් සතුටු වූ අප ඇයට සතුටින් සමු දෙමු.”