වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සිසුවියක් සියදිවි නසා ගනී: දැවැන්ත සිසු විරෝධයක්

වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුවියක් සිය නේවාසිකාගාර කාමරය තුළදී සියදිවි නසාගෙන තිබේ. මෙලෙස දිවි නසාගෙන ඇත්තේ මහනුවර, තෙල්දෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි සංජීවනී කුමාරි නමැති සිසුවියයි. සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවකුගේ දිවි නසාගැනීමේ සිද්ධියේ උණුසුම පහව යන්නටත් පෙර මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වීම රට පුරා ආන්දෝලනයක් ඇති කර තිබේ.

මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ සිට වසර දෙකකට පමණ පෙර වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයට පැමිණි සංජීවනී, තම ඉගෙනුම් කාලය සම්පූර්ණ කිරීමට පෙර මෙලෙස ජීවිතයෙන් සමුගෙන ඇත. ඇය සියල්ලන්ටම රහසින් සිය නේවාසිකාගාර කාමරය තුළදීම දිවි නසාගෙන තිබුණි.

ගුරු හිරිහැර පිළිබඳ චෝදනා

සංජීවනීගේ මිතුරු මිතුරියන් පවසන්නේ, විද්‍යාපීඨය තුළදී ඇයට ගුරුවරුන්ගෙන් විඳින්නට සිදුවූ හිරිහැර හේතුවෙන් හටගත් චිත්ත පීඩාව දරාගත නොහැකිව ඇය මෙම තීරණය ගෙන ඇති බවයි. ඇගේ යෙහෙළියක් සමාජ මාධ්‍ය ඔස්සේ තැබූ සංවේදී සටහනක මෙලෙස සඳහන් කර තිබුණි:

“චූටි කාලේ ඉඳන් මල් වගේ අපිව හදලා විද්‍යාපීඨ තේරිලා මගේ කෙල්ල කියලා හරි උජාරුවෙන් මේ තැනට එයාලා අපිව එවන්නේ පංසලකට කියලා හිතලා. ඉතින් ඔව්. එහෙම තැන් වෙන්න ඕන වුණත් අවාසනාවකට එහෙම වුණේ නැහැ. වචනයක් වැරදෙන තැන තනතුරු හිස් මුදුනේ තියන් මානසිකව වධ දෙනවා. අපේ කතා දන්නෙත් අපිමයි. තනතුරුවලට එන්න ඕනේ ජිවිතේ ඇරියස් නැති මිනිස්සු. හැඟීම් දැනෙන මිනිස්සු.”

මෙම සටහන තබා තිබුණේ සංජීවනී සමඟ වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලැබූ යෙහෙළියකි.

සිසු විරෝධය

සංජීවනීගේ මරණය වැනි මරණ නැවත සිදුවීම වැළැක්වීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන බලධාරීන්ට බලකරමින්, වයඹ විද්‍යාපීඨ සිසු සිසුවියන් ඊයේ (මැයි 24) නිහඬ විරෝධතාවක නිරත විය. රාත්‍රිය වන තුරුම ඔවුන් විරෝධතාවයේ නියැලෙමින් කියා සිටියේ, පීඨාධිපතිවරයා පැමිණ මෙම ගැටලුවට විසඳුම් ලබාදිය යුතු බවයි.

මෙම සිදුවීම අධ්‍යාපන ආයතන තුළ සිසුන් මුහුණ දෙන මානසික පීඩනයන් සහ ගුරු-සිසු සබඳතා පිළිබඳව බරපතල සංවාදයක් ඇති කර තිබේ. සිසුන්ගේ මානසික සුවතාව ආරක්ෂා කිරීම සහ ඔවුන්ට හිරිහැර සිදු නොවන පරිසරයක් නිර්මාණය කිරීමේ වගකීම අධ්‍යාපන බලධාරීන් සතු බවට සමාජය තුළින් දැඩි ඉල්ලීමක් මතුව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart