හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ තිබී රන් ආලේපිත T56 වර්ගයේ ගිනිඅවියක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ. අධිකරණ නියෝගයකට අනුව වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීම සඳහා ඔහු බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී දිසානායක සඳහන් කළේය.
දුමින්ද දිසානායක ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මැයි 29 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරිණි. ඒ අනුව, ඔහු මැගසින් බන්ධනාගාරයට ඇතුළත් කෙරුණු අතර, ඔහුට ප්‍රතිකාර ලබා දිය යුතු බවට අධිකරණ නියෝගයක් ලැබී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා ඔහු මේ වනවිට බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ.
සිද්ධියේ පසුබිම
හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ පදිංචි 68 හැවිරිදි කාන්තාවක් සහ ඇයගේ ලේලිය T56 වර්ගයේ රන් හා රිදී ආලේපිත ගිනිඅවියක් සමඟ පසුගිය අඟහරුවාදා වැල්ලවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය. හිටපු අමාත්‍ය දුමින්ද දිසානායකගේ නිවසේ සේවය කළ අරක්කැමියෙක් මීට මාස 6කට පමණ පෙර මෙම ගිනිඅවිය තමන්ට ලබාදුන් බව ඔවුන් පොලීසියට ප්‍රකාශ කර තිබුණි.
ඒ අනුව, අදාළ අරක්කැමියා ද රුවන්වැල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් අතර, සැකකරුවන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ජූනි 5 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබිණි.
දුමින්ද දිසානායක අත්අඩංගුවට ගැනීම
සිදුකළ වැඩිදුර විමර්ශනවල දී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය (TID) මගින් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. එහිදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණය හමුවේ පැවසුවේ, දුමින්ද දිසානායක විසින් අදාළ කාන්තාවට දුරකථන ඇමතුමක් ලබාදී ගිනිඅවිය තිබූ පාර්සලය යළි දැනුම් දෙනතුරු ඇය සන්තකයේ තබාගන්නා ලෙස දැනුම් දී ඇති බවයි.
මෙම ගිනිඅවිය සැකකාර දුමින්ද දිසානායකගේ පියාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ගිනිඅවියක් වන අතර, ඊට බලපත්‍රයක් ඇති බවට මෙතෙක් අනාවරණය වී නොමැති බව ද එම නිලධාරීන් අධිකරණයට පෙන්වා දුනි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වේ.