මත්තල ගුවන් තොටුපොළ ඉන්දියාවට සහ රුසියාවට..! ජවිපෙ ආණ්ඩුවෙනුත් රටේ සම්පත් බිල්ලට දෙයි?

ආන්දෝලනාත්මක ව්‍යාපෘතියක් ලෙස කතාබහට ලක්වූ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ කළමනාකරණය වසර 30ක කාලයක් සඳහා ඉන්දියාවේ Shaurya Aeronautics Pvt. Ltd. සහ රුසියාවේ Airports of Regions Management Company හෝ එහි අනුබද්ධිත සමාගමකට පැවරීමට කැබිනට් අනුමැතිය ලැබීම, රටේ ස්වෛරීත්වය සහ ආර්ථික අනාගතය පිළිබඳව බරපතල ප්‍රශ්න මතු කරයි. මෙලෙස රටේ  යටිතල පහසුකම් විදේශිකයන්ට පැවරීම, “සුදු අලියෙකු” නඩත්තු කිරීමට නොහැකි බවට රජය දෙන පිළිතුරක්ද, නැතහොත් තවත් එක් දේශපාලන ක්‍රියාවක්ද යන සැකය මතු වේ.

2023 ජනවාරි 09 වන දින පැවති කැබිනට් රැස්වීමකින් අනතුරුව, මත්තල ගුවන්තොටුපළේ පහසුකම් ප්‍රයෝජනයට ගැනීම සඳහා උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ගෙන් EOI කැඳවීම සිදුවිය. EOI සඳහා ආයතන 05ක් ලංසු ඉදිරිපත් කළ බව වාර්තා වේ. කෙසේ වෙතත්, මෙම තෝරාගැනීමේ ක්‍රියාවලිය කෙතරම් විනිවිදභාවයකින් සිදුවූවක්ද යන්න පිළිබඳව නිසි පැහැදිලි කිරීමක් මෙතෙක් ලැබී නොමැත.

වසර 30ක දීර්ඝ කාලයක් සඳහා මෙවන් වැදගත් ආයතනයක් විදේශීය සමාගම් දෙකකට පැවරීමෙන්, ශ්‍රී ලංකාවට ලැබෙන සැබෑ ආර්ථික ප්‍රතිලාභ මොනවාද යන්න පිළිබඳව පැහැදිලි චිත්‍රයක් නොමැත. ගුවන්තොටුපළක් යනු හුදෙක් ගුවන් ගමන් සඳහා පමණක් නොව, රටක ආර්ථික, සංචාරක සහ ආරක්ෂක අංශයන්ට සෘජුවම සම්බන්ධ වන වැදගත් ස්ථානයකි. එවන් ස්ථානයක කළමනාකරණය විදේශිකයන්ට පැවරීමෙන්, දිගුකාලීනව රටේ ආරක්ෂාවට සහ ආර්ථිකයට ඇති විය හැකි බලපෑම් පිළිබඳව ගැඹුරු විශ්ලේෂණයක් සිදුවී ඇති බවක් පෙනෙන්නට නැත.

“සුදු අලියෙකු” නඩත්තු කිරීමට නොහැකිවීම, දේශපාලනඥයන්ට තමන්ගේ අකාර්යක්ෂමතාව වසා ගැනීමට හොඳම නිදහසට කරුණක් වී ඇත. එහෙත්, මෙම ගුවන්තොටුපළ ගොඩනැගීමට වැය කළ මහජන මුදල් පිළිබඳව කිසිදු තැකීමක් නොකර, එය මෙලෙස පහසුවෙන් විදේශිකයන්ට භාරදීම සාධාරණීකරණය කළ හැකිද?

මෙම තීරණය, ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධන ව්‍යාපෘති සහ ජාතික සම්පත් කළමනාකරණය පිළිබඳව බරපතල සැක සංකා ඇති කරයි. රටේ දේපල මෙලෙස විදේශිකයන්ට පැවරීම, කෙටිකාලීන ගැටලුවලට දෙන ලංසුකරණ විසඳුමක්ද, නැතහොත් රටේ ස්වෛරීත්වය ක්‍රමයෙන් අහිමිවීමේ ආරම්භයක්ද යන්න කාලය විසින් තීරණය කරනු ඇත.

විශේෂයෙන්ම, රටේ ජාතික සම්පත් විදේශිකයින් වෙත විකිණීම හෝ පවරාදීම සම්බන්ධයෙන් තමන් ආණ්ඩු නොකරන සමයේ දැඩි විවේචනාත්මක අයුරින් කතා කළ, සටන් කළ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ආණ්ඩුවකින් මෙවන් තීරණයක් ක්‍රියාත්මක කිරීම දෛවයේ සරදමක් වැනි ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart