ප්‍රීති පද්මන් සූරසේන අගවිනිසුරු වීම වැළැක්වීමට දූෂිත කණ්ඩායමක් බරටම වැඩ! – සනත් බාලසූරිය

මාධ්‍යවේදී සනත් බාලසූරිය තැබූ සටහනකින් උපුටා ගැණින.

පෝදා ඇප මෙහෙයුමේ නීතීඥයා, අලි හොර විනිසුරා සහ තවත් දූෂිත පිරිසක් සන්ධානයක

‌ශ්රේෂ්ඨාධිකරණයේ දැනට සිටින ජ්යෂ්ඨතම විනිශ්චයකාරවරයා ද, අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයකු ද වන ප්රීති පද්මන් සූරසේන මීළඟ අග්රවිනිශ්චයකාරවරයා වශයෙන් පත්වීම වැළැක්වීමේ රහසිගත මෙහෙයුමක් දියත් කිරීමට අධිකරණ ක්ෂේත්රයේ දූෂණ අක්රමිකතා චෝදනාවලට, අල්ලස් නඩුවලට හා වැඩ තහනම්වලට ලක්වූ පිරිසක් රහසිගත සන්ධානයක් ගොඩනඟා ඇතැයි ඉතාම විශ්වාස කටයුතු මාර්ගයකින් අපට වාර්තා වේ.
දැනට අග්රවිනිශ්චයකාර ධූරය දරන මුර්දු ප්රනාන්දු ලබන ජූලි 28වැනිදා විශ්රාම යාමට නියමිත අතර, ඒ සමඟින් පුරප්පාඩු වන ධූරයට ජේෂ්ඨත්වය අතින් ඉහළින් ම පසුවන්නේ සූරසේන විනිශ්චයකාරවරයා ය.

සෙනසුරාදා ‘සෙනසුරු’ සන්ධානය

මෙම සන්ධානය ගොඩනඟාගෙන ඇත්තේ, තිලංග සුමතිපාලට ඇප ලබාදීමේ කුප්රකට ‘පෝදා ඇප මෙහෙයුම’ දියත්කළ නීතීඥයාගේ ගේ නිවසේ පසුගිය සෙනසුරාදා (24) පැවැති රහසිගත හමුවක දී ය.
අලි පැටියකු නිසා අලි අමාරුවක වැටුණු විනිසුරුවරයෙක්, වසර 10ක් තුළ පක්ෂ 3ක් මාරුකළ සුප්රකට නීතීඥයෙක් හා බැංකුවලට පොලු තියා CRIB එකේ නම තිබීම හේතුවෙන් වැඩතහනමට ලක් වූ, දැනටත් වැඩ තහනම් වී සිටින විනිසුරුවරයෙක් ද මේ රහසිගත හමුවට සහභාගී වී ඇති බව දැනගන්නට තිබේ.

සන්ධානකාරයන්ගේ චරිත සහතික

සන්ධානය ගොඩනැඟීමේ මූලිකත්වය ගනිමින් එහි සමාරම්භක රැස්වීමේ හා සාදයේ අනුග්රාහකත්වය ද දරා ඇති සුප්රකට නීතීඥයා කලකට ඉහත දී හිටපු ඇමැතිවරයකු හා ශ්රී ලංකා ක්රිකට් පාලක මණ්ඩලයේ ප්රධානියකු ද වූ තිලංග සුමතිපාලට පොහොය දවසක ඇප ලබාදීමේ මෙහෙයුමක් ක්රියාත්මක කරන්නට ගොස් විනිසුරුවරයකුට පවා ගෙදර යන්නට වැඩ සලස්සන ලද පුද්ගලයෙකි. තමන් පෙනීසිටින නඩු කටයුතු හැකිතරම් කල්දමමින් පුළුවන් තරම් කාලයක් ඇදගෙන යාම සම්බන්ධයෙන් ද මේ ජේෂ්ඨ නීතීඥයා ක්ෂේත්රයේ ප්රසිද්ධ ය.
තවත් සුප්රසිද්ධ විනිසුරුවරයෙක් වඩාත් ප්රසිද්ධියට පත්වූයේ අනවසරයෙන් අලිපැටියෙක් තබාගත්තාය යන චෝදනාවට ය. මේ හේතුවෙන් වැඩ තහනමකට ද ලක්ව සිටි විනිසුරුවරයා, ගෝඨාභය ආණ්ඩු සමයේ එම චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කරන ලද නමුත්, ඔහුත් සමග සිටි සෙසු සැකකරුවන් තිදෙනාට මේ විනිසුරුවරයාට තරම් අලි වාසනාවක් ඒ මොහොතේ පෑදුණේ නැති බැවින්, මොහු නඩුවෙන් නිදහස ලබද්දී ඒ තිදෙනාට තවදුරටත් විත්ති වාචක ඉදිරිපත් කරමින් සිටින්නට සිදුවිය.
මේ සන්ධානයේ තවත් සාමාජික විනිසුරුවරයෙක් බැංකුවලින් ණය ලබාගෙන පොලු තැබූවෙක් බවට CRIB එකේ (Credit Information Bureau of Sri Lanka – ශ්රී ලංකා ණය තොරතුරු කාර්යාංශය) නම සඳහන් වීම නිසා විනිසුරු ධූරයේ වැඩ තහනමකට ලක්වූවෙකි. පසුව ගෝඨාභය ආණ්ඩුව යටතේ යළිත් සිය වැඩ තහනම ඉවත් කරගත් මේ විනිසුරුවරයා, තමන්ගේ මස්සිනා සමග පැවැත්වූ පොලු හරඹයක වීඩියෝවක් සමාජ මාධ්යවල සංසරණය වීම හේතුවෙන් මේ වනවිට ද නැවත වතාවක් වැඩතහනමට ලක්ව සිටින්නෙකි.
මේ කුප්රකට සන්ධානයේ තවත් එක් නියෝජිතයෙක් වූ ප්රසිද්ධ නීතීඥයෙක් වසර 5න් 5ට පක්ෂ මාරු කරමින් පසුගිය වසර 15 තුළ පාර්ලිමේන්තු වරම් සොයමින් දේශපාලන පක්ෂ තුනකට ප්රසිද්ධියේ ම සම්බන්ධ වූවෙකි. 2015 වසරේ මහාමැතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලයිස්තුවේ සිටි මෙම නීතීඥයා, පසුව එම පක්ෂය සමඟ සණ්ඩු සරුවල් ඇතිකරගත් අතර, 2020 වසරේ මහා මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ දිස්ත්රික්කයට තරග වැදුණේ ය. වසර 4ක් ඇවෑමෙන් එජාපය ද අත්හැරදැමූ ඔහු පසුගිය වසරේ ජනාධිපතිවරණය ආසන්නයේ සජිත් ප්රමදාසගේ දෑත් ශක්තිමත් කිරීමේ අරමුණින් සමගි ජනබලවේගයට සම්බන්ධ විය.
පසුගිය සෙනසුරාදා පැවැති හමුවට සහභාගී නොවුණත්, මේ සන්ධානයේ ඉන්නා බව වාර්තා වන තවත් විනිසුරුවරයෙක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මඟින් කොළඹ මහේස්ත්රාත් අධිකරණය හමුවේ පනවන ලද නඩුවක විත්තිකරුවෙකි. නඩුව පවරන විටත් අභියාචනාධිකරණ විනිසුරුවරයෙක් වූ ඔහුගේ අභියාචනාධිකරණ ක්රියාකලාපය පවා බෙහෙවින් ප්රශ්නකාරී විය. (අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වෙබ් අඩවියට පිවිසුණහොත් අද පවා මෙම නඩු පැවරීමට අදාළ ප්රවෘත්තිය බලාගත හැක.)
ප්රීති පද්මන් සූරසේන විනිසුරුවරයා අග්රවිනිශ්චයකාර තනතුර කරා යාම කොයි ලෙසකින් හෝ වලක්වන්නට සන්ධානගතව සිටින්නේ මෙවැනි චරිත සහතික ලබාසිටින පිරිසකි.

දැනට සිටින ජ්යේෂ්ඨතමයා

අගවිනිසුරු තනතුර සඳහා දැනට සිටින පළමු තරගකරුවා ප්රීති පද්මන් සූරසේන විනිශ්චයකාරවරයා වන අතර, ඔහු ඍජු තීන්දු තීරණ ගන්නා, අධිකරණ ක්ෂේත්රයේ අක්රමිකතාවලට එරෙහිව තදින් ක්රියාකරන පුද්ගලයකු ලෙස ප්රකට ය.
එසේම අනවශ්ය ලෙස නඩු කටයුතු කල්යාමට එරෙහිව මෙම විනිසුරුවරයා නිරන්තරයෙන් සිය මැදිහත්වීම දක්වා සිටින බවත්, ඇතැම් නීතීඥයන් විසින් නිරන්තරයෙන් නඩු කල්තබන ලෙස කරන ඉල්ලීම්වලට ඔහුගෙන් බුරුලක් නොලැබෙන බවත් අධිකරණ ක්ෂේත්රයේ ප්රකට ය. මේ සම්බන්ධයෙන් නීතීඥවරුන් අතර මැසිවිලි නැඟෙන බව ද ක්ෂේත්රයේ ප්රසිද්ධ රහසකි.
පසුගිය කාලයේ අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් මාරවිල, ඇඹිලිපිටිය සහ කඩුවෙල යන මහේස්ත්රාත් අධිකරණවල විනිසුරුවරුන් සහ විනිසුරුවරියන් තිදෙනකු ගේ වැඩ තහනම් කරන ලද අවස්ථාවල දී ද සූරසේන ශ්රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා විශේෂ දායකත්වයක් දක්වා ඇත. නිදසුනකට මාරවිල මහේස්ත්රාත්වරයාගේ වැඩ තහනම් කරන ලද අවස්ථාවේ, එම තීරණය ගනුලැබුවේ අධිකරණ සේවා කොමිෂන් සභාවට ලැබුණු පැමිණිලිවල සත්යාසත්යතාව පරීක්ෂා කිරීමට සූරසේන විනිසුරුවරයා කොමිෂන් සභාවේ තවත් සාමාජිකයකු වූ ගාමිණී අමරසේකර විනිසුරුවරයා සමඟ රහසිගතව එම අධිකරණය වෙත පෞද්ගලිකව ම ගොස් කරන ලද නිරීක්ෂණයකදී ය.

”කෙසේ හෝ වැළැක්විය යුතුයි’

මෙවැනි හේතු නිසා විනිසුරු සූරසේන අගවිනිසුරු ධූරයට පත්වීම කෙසේ හෝ වැළැක්විය යුතුය යන සම්මුතියට ඉහත පුද්ගලයන් පැමිණ සිටින අතර, ඒ සම්බන්ධයෙන් මේ වනවිටත් අධිකරණ ක්ෂේත්රය තුළ ඔවුන් රහසිගතව ක්රියාත්මක වන බව ඉතාම විශ්වාසකටයුතු මාර්ගවලින් අපට දැනගන්නට ලැබී තිබේ.

අපේ වාර්තාකරණය නීතියේ ආධිපත්යය වෙනුවෙනි

අපගේ අදහසට අනුව නීතියේ ආධිපත්යය වරින් වර දුර්වල වීම, හැම අස්සක් මුල්ලක් පුරාම පිළිකාවක් මෙන් පැතිරුණු ඉහවහා ගිය අල්ලස හා දූෂණය, දේශපාලන අනුග්රහය පවා ලබන පාතාල ජාලය හා නීතිවිරෝධී මහාපරිමාන ජාවාරම් පද්ධතිය ලංකාව මුහුණපා සිටින බරපතල අර්බුදවල හිනිපෙත්තේම පවතින ගැටලු වේ. වැඩි දෙනකුගේ අවධානය දිනාගන්නා රටේ ආර්ථික අර්බුදයට පිළියම් යෙදීමේ දී පවා මේ ගැටලු තීරණාත්මක ලෙස බලපෑම් කරන බව අපේ නිරීක්ෂණය යි.
මේවාට එරෙහිව සටන් කිරීමේ දී රටතුළ ශක්තිමත් සහ ස්වාධීන අධිකරණ පද්ධතියක තිර පැවැත්ම අත්යාවශ්ය ය.
රට තුළ නීතියේ ආධිපත්යය ශක්තිමත් කිරීම මෙන්ම අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය හා ගෞරවය ආරක්ෂා කිරීම වෙනුවෙන් අපට හැකි පමණින් දායක වීම, මෙම වාර්තාකරණයේ අරමුණ බව සඳහන් කිරීමට කැමැත්තෙමු.
සනත් බාලසූරිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart