රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල අද (ජූනි 03) බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබුණි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව ගොනු කර තිබූ නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබුණේය. ඔහු අමාත්‍ය ධුරය දරන සමයේදී නාමිකව පුද්ගලයින් පහළොස් දෙනෙකු තම කාර්ය මණ්ඩලයට ඇතුළත් කරගෙන, ඔවුන්ට හිමි වැටුප්, දීමනා සහ අතිකාල දීමනා ලබා ගැනීම තුළින් රජයට රුපියල් ලක්ෂ 80කට අධික පාඩුවක් සිදු කර ඇති බවට චෝදනා එල්ල වී තිබුණි.
අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරුන් විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුව, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී විසින් කෙහෙළිය රඹුක්වැල්ල සහ රමිත් රඹුක්වැල්ල යන දෙදෙනාම ඇප මත මුදා හැරීමට නියෝග කරන ලදී.