ත්‍රිකුණාමලයේ නාවික වෙඩි තැබීමට අදාළව පුළුල් පරීක්ෂණයක්: ධීවර අමාත්‍යවරයාගෙන් නියෝග!

ත්‍රිකුණාමලය, කුච්චවේලි වෙරළබඩ ප්‍රදේශයේ දී නාවික හමුදාවේ වෙඩි තැබීමකින් ධීවරයෙකු තුවාල ලැබූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් නියෝග කර තිබේ.

වාර්තාවලට අනුව, ඊයේ (ජූනි 03) නීතිවිරෝධී ක්‍රම භාවිත කරමින් මසුන් අල්ලමින් සිටි ධීවරයන් සමග යාත්‍රා 11ක් නාවික හමුදා භාරයට ගැනීමට මෙහෙයුමක් දියත් කර තිබුණි. එහිදී නාවික හමුදා යාත්‍රාව වට කරමින් සංවිධානාත්මක කණ්ඩායමක් පැමිණ අදාළ එක් යාත්‍රාවක් පැහැරගෙන යෑමට තැත් කර තිබේ.

මෙහිදී එම කණ්ඩායම සහ නාවික හමුදාව අතර පොරබැදීමක් සිදුවී ඇති අතර, නාවික හමුදාව නීත්‍යානුකූලව කටයුතු කිරීමට උත්සාහ දරා ඇත. පසුව නාවික හමුදා නිලධාරීන්ගේ ගිනිඅවි උදුරා ගැනීමට තැත් කිරීමත් සමග, නාවික හමුදාව අහසට වෙඩිතබා තත්ත්වය පාලනය කිරීමට කටයුතු කර තිබේ.

එහිදී අදාළ කණ්ඩායම ප්‍රකෝපකාරී ලෙස හැසිරීමත් සමග එක් නාවික හමුදා සෙබෙලෙකුගේ ගිනිඅවිය ක්‍රියාත්මක වී 23 හැවිරිදි පුද්ගලයෙකුට වෙඩිවැදී තුවාල ලබා ඇත. සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයා ත්‍රිකුණාමලය මහ රෝහලට ඇතුලත් කර ඇති අතර, ඔහු එහි නේවාසිකව ප්‍රතිකාර ලබයි. සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදාව වැඩිදුර විමර්ශන සිදුකරයි.

අමාත්‍ය චන්ද්‍රසේකරන් ශ්‍රී ලංකා නාවික හමුදාවට උපදෙස් දී ඇත්තේ සිද්ධියට අදාළ තත්ත්වයන් පිළිබඳව සවිස්තරාත්මක පරීක්ෂණයක් පවත්වා ඉක්මනින්ම වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි. පරීක්ෂණයේ සොයාගැනීම් මත පදනම්ව සුදුසු පියවර තීරණය කරන බව ඔහු ප්‍රකාශ කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, “නීතිවිරෝධී ධීවර කටයුතු සාගර පරිසරයට සහ නීතියට ගරු කරන බහුතර ධීවරයින්ගේ ජීවනෝපායට හානි කරනවා. එවැනි ක්‍රියා වැළැක්වීම අත්‍යවශ්‍ය වන අතරම, බලය භාවිතා කිරීම පිළිබඳවද විමර්ශනය කළ යුතුයි. නීතිවිරෝධී ධීවර කටයුතු වැරදියි, වෙඩි තැබීම වැරදියි, එවැනි සිදුවීම්වලට තුඩු දෙන පරිසරයක් නිර්මාණය කිරීමද ඒ හා සමානවම වැරදියි.” යනුවෙනි.

පරීක්ෂණය අවසන් වී සම්පූර්ණ විස්තර දැනගන්නා තුරු අවසන් නිගමනවලට නොඑළඹිය යුතු බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

මේ අතර අදාළ සිද්ධිය මුල් කරගනිමින් කුච්චවේලි ප්‍රදේශයේදී ධීවරයින් උද්ඝෝෂණයක් සිදු කිරීමටද පියවර ගෙන ඇති බව වාර්තා වෙයි. මෙම සිදුවීම නැවත වරක් වෙරළබඩ ප්‍රදේශවල නියාමන ක්‍රියාත්මක කිරීම් සහ දේශීය ධීවර ප්‍රජාවන් අතර පවතින ගැටුම් ඉස්මතු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart