මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළව, හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායකට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජූනි 05) අවසර ලබා දුන්නේ ය. ඒ අනුව, කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාග වන මෙම නඩුවේ විත්තිකරුවෙකු ලෙස රවි කරුණානායක නම් කිරීමට නීතිපතිවරයා ගත් තීරණය බලරහිත කරමින් අභියාචනාධිකරණය මීට පෙර ලබා දුන් තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කර තිබේ.
නඩුවේ විස්තර
2016 වසරේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් බිලියන 36.98ක මුහුණත වටිනාකමකින් යුත් බැඳුම්කර සම්බන්ධයෙන් සිදුකළ වංචනික ගනුදෙනු හෝ ඊට එකඟවීම සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ රවි කරුණානායකට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩුවක් ගොනු කර තිබිණ.
ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව
නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද විශේෂ අභියාචනා පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන විසින්, එස්. තුරෙයි රාජා සහ ජනක් ද සිල්වා යන විනිසුරුවරුන්ගේ එකඟත්වය සහිතව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
මෙම තීන්දුව මඟින්, රවි කරුණානායක අදාළ නඩුවල විත්තිකරුවෙකු ලෙස නම් කිරීමට නීතිපතිවරයා ගනු ලැබූ තීරණය බලරහිත කරමින් අභියාචනාධිකරණය විසින් නිකුත් කළ තීන්දුව ඉවත දමන බවත්, එම තීන්දුවට අදාළව රවි කරුණානායක විසින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ රිට් පෙත්සම නිශ්ප්‍රභ කරන බවත් තහවුරු විය.
නඩුවේ පසුබිම
2015 ජනවාරි 01 සහ 2016 මාර්තු 31 අතර කාලසීමාව තුළ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර නිකුතුවලදී අවිධිමත් ක්‍රියා සහ අක්‍රමිකතා සිදුවූ බවට පැමිණිලි ඉදිරිපත් වී තිබිණ. මෙම සිදුවීම හේතුවෙන් රටේ ආර්ථිකයට බිලියන ගණනාවක පාඩුවක් සිදු වූ බවත්, ජාතික ආර්ථිකයට මෙන්ම මහජන විශ්වාසයට ද හානි සිදුවූ බවත් විනිසුරු මහින්ද සමයවර්ධන සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් වැඩිදුරටත් සඳහන් කළේ ය.
මෙම තීන්දුවත් සමග මහ බැංකු බැඳුම්කර වංචා නඩුවේ කටයුතු තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යාමට නීතිමය අවසරය හිමි වේ.