ජනාධිපති සමාවට මුවාවී සිදුවූ අක්‍රමිකතාවක්? CID යට පරීක්ෂණ බාරයි!

අනුරාධපුර බන්ධනාගාරයේ සිටි රැඳවියෙකුට වෙසක් උත්සවය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීම සම්බන්ධයෙන් බරපතල අක්‍රමිකතාවක් සිදුවී ඇති බවට ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර තිබේ.
ජනාධිපතිවරයාගේ අනුමැතියකින් තොරව ඩබ්.එච්. අතුල තිලකරත්න නැමැති රැඳවියා නිදහස් කර ඇති බවට තොරතුරු අනාවරණය වීමත් සමඟ මෙම සිදුවීම පිටුපස ඇති අභිරහස පිළිබඳව දැඩි අවධානයක් යොමුවී ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) විශේෂ පරීක්ෂණයක් සිදුකරන ලෙසට ඉල්ලීමක් කර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 (1) වගන්තියට අනුව සිරකරුවන්ට පොදු සමාවක් ලබාදීමට ජනාධිපතිවරයාට බලය හිමි වුවද, මෙම නිදහස් කිරීම සිදුව ඇත්තේ ජනාධිපතිවරයා විසින් අනුමත කරන ලද නම් 388කින් යුත් ලේඛනයට ඩබ්.එච්. අතුල තිලකරත්නගේ නම ඇතුළත් නොවීම හේතුවෙනි.

බන්ධනාගාර අධිකාරීන් විසින් තෝරා ගන්නා සිරකරුවන්ගේ නාම ලේඛනයක් අධිකරණ අමාත්‍යාංශය වෙත යොමු කරන අතර, එම ලේඛනය පරීක්ෂා කර බලා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යොමු කිරීමෙන් පසුව ජනාධිපතිවරයාගේ අනුමැතිය මත පොදු සමාව හිමි වේ.

කෙසේ වෙතත්, අනුරාධපුර බන්ධනාගාරයේ මුදල් වංචාවකට අදාළව සිරගතව සිටි අදාළ පුද්ගලයාගේ නම බන්ධනාගාර කොමසාරිස් ජනරාල් විසින් ජනාධිපති කාර්යාලය වෙත එවන ලද පොදු සමාව හිමි විය යුතු සිරකරු නාමලේඛනයේ කිසිදු තැනක සඳහන් නොවීම බරපතල ගැටලුවක් වී ඇත.
මෙම සිදුවීම “ජනාධිපති සමාව යටතේ අනුමැතිය නොලැබූ සිරකරුවෙකු නිදහස් කිරීම සම්බන්ධව” යන ශීර්ෂය යටතේ CID වෙත යොමු කර ඇති අතර, විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමටත්, වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමටත් ඉදිරියේදී කටයුතු කෙරෙනු ඇති බවට ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් අවධාරණය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart