එක්කෙනෙක් නෙවෙයි! ජනපති සමාව අවභාවිත කර කීපදෙනෙක් නිදහස් කරලා!

ජනාධිපති පොදු සමාව නීතිවිරෝධී ලෙස භාවිතා කරමින් සිරකරුවන් කිහිප දෙනෙකු නිදහස් කර ඇති බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. මෙම සිද්ධිය රටපුරා ආන්දෝලනයක් ඇති කර ඇති අතර, අදාළ නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය අද (08) නිවේදනය කළේය.

ජනාධිපති කාර්යාලය විසින් ජුනි 06 වන දින CID වෙත යොමු කරන ලද පැමිණිල්ලකට අනුව, 2025 වෙසක් දිනය නිමිත්තෙන් ජනාධිපතිවරයාගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය බලතල යටතේ පොදු සමාව ලැබූ සිරකරුවන්ට අමතරව, තවත් සිරකරුවන් පිරිසක් බන්ධනාගාරය විසින් නීතිවිරෝධී ලෙස නිදහස් කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

මෙම විමර්ශනය යටතේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, තවදුරටත් ලේඛන පරීක්ෂා කිරීමෙන් පසු ඔහුගෙන් නැවත ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතය. විමර්ශනවලින් මේ වන විටත් හෙළි වී ඇත්තේ, පොදු සමාව අනිසි ලෙස භාවිතා කරමින් යම් සිරකරුවන් පිරිසක් පසුගිය වෙසක් දින නිදහස් කර ඇති බවයි.

CID විසින් මෙම නීතිවිරෝධී ක්‍රියාවලියට සම්බන්ධ සියලුම බන්ධනාගාර නිලධාරීන් ඇතුළු අනෙකුත් අදාළ නිලධාරීන්ට එරෙහිව පරීක්ෂණ සිදු කරනු ඇත. එපමණක් නොව, මීට පෙරද මෙම ආකාරයටම ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කිරීමට නියමිතව සිටි සිරකරුවන් අතර අනුමැතිය නොලැබූ සිරකරුවන්ද නිදහස් කර ඇති බවට තොරතුරු අනාවරණය වෙමින් පවතින අතර, ඒ සම්බන්ධයෙන්ද ඉදිරි විමර්ශන සිදු කිරීමට නියමිතය.

අධිකරණයන් මගින් වරදකරුවන් වූ පුද්ගලයන් බන්ධනාගාරය තුළින් මෙලෙස නීතිවිරෝධී ලෙස නිදහස් කිරීම සම්බන්ධයෙන් CID විසින් විමර්ශනයක් ආරම්භ කර තිබීම, රටේ අධිකරණ පද්ධතියේ සහ නීතියේ ආධිපත්‍යයේ විශ්වසනීයත්වයට විශාල බලපෑමක් එල්ල කරනු ඇතැයි නීති විශාරදයින් පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart