හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අත් අඩංගුවට පත්වීමත් සමගම ලාංකීය දේශපාලන තුල දශක ගණනාවක පටන් කිදාබැස ඇති දේශපාලනයේ හා පාතාලයේ සහසම්බන්ධය පිලිබදව සමාජය තුල කැපීපෙනෙන කතිකාවතක් නිර්මාණය වී තිබේ ඒත් සමගම පසුගියදා හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා සිය ෆේස්බුක් ගිණුමේ මේකි ගහට පොත්ත වැනිවූ දේශපාලනය හා පාතාලයේ අනෝන්‍ය සම්බන්ධතාවය ගැන සිය අදහස පළ කර තිබුණා
ලාංකීය දේශපාලනය සහ පාතාලය අතර ඇත්තේ ගහට පොත්ත වැනි සම්බන්ධතාවයකි.පොත්ත ගහට ආරක්ෂාව සලසනවා මෙන්ම පොත්තේ පැවැත්ම රැඳී ඇත්තේ ද ගස මත වීම ස්වභාවිකය.එහෙත් සමහර අවස්ථාවල පොත්ත ගසට කරදර වන අවස්ථාද විරල නොවේ.
දශක හතරක් වු මාගේ ශ්‍රී ලංකා පොලිස් සේවා කාලය තුළ දශක තුනකට වැඩි කාලයක් මා ගත කර ඇත්තේ මෙරට අපරාධ විමර්ශනය සහ විශේෂයෙන්ම පාතාල අපරාධ ලෙස හඳුන්වන සංවිධානාත්මක අපරාධ මර්දන කටයුතු සඳහාය.
මෙම විමර්ශන ක්‍රියාවලීන් තුළ සමහර අවස්ථාවල දේශපාලනය සහ පාතාලය අතර තිබූ අන්‍යෝන්‍ය සම්බන්ධතාවය සාක්ෂි සහිතව ඉදිරිපත් කර හැකි අවස්ථා මා හට මුණ ගැසී ඇත.ශ්‍රී ලාංකීය දේශපාලනයේ ඉදිරි යහ පැවැත්ම මෙන්ම පාතාල අපරාධ කරුවන් සමඟ සම්බන්ධ වූ දේශපාලනඥයන්ගේ සුදු පිරුවට විවර කිරීමේ අදහසින් “දේශපාලන පාතාලය” නමින් කෘතියක් නිර්මාණය කිරීමට මා අදිටන් කර ගත්තේ එහෙයිනි
මේ ආකාරයට දේශපාලනයේ සුදු පිරුව නිරුවත් කිරීමේ තමන්ගේ අරමුණ පිළිබදවද හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි වැඩිදුරටත් සදහන් කර තිබිණි එලෙසම
ඔහුගේ කෘතියට පදනම සැකසුනේද හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සහ ඔහු අතර ඇති වූ එක් සිදුවීමකින් බවද එතුමා සිය ෆේස්බුක් සටහනේ වැඩිදුරටත් සදහන් කර තිබුණු අතරම
”මගේ මතකය නිවරැදි නම් ඒ වකවානුව 2007 වර්ශයේ මැද භාගය විය යුතුය.එවකට මගේ සේවා ස්ථානය වූයේ පෑලියගොඩ අපරාධ කොට්ඨාශයයි. විශේෂයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කය මෙන්ම කොළඹ නගරය තුළද ක්‍රියාත්මක වූ සංවිධානාත්මක අපරාධ කල්ලි මර්දනය කිරීමේ අරමුණින් 2002 වර්ෂයේ පිහිටවන ලද මෙම අපරාධ කොට්ඨාශයේ එවකට සහකාර පොලිස් අධිකාරි ධූරයේ වසර හතකට වැඩි සේවා කාලයක් සපුරා සිට නිලධාරියකු වූ මා මෙම කොට්ඨාසයේ වැඩ බලන අධ්‍යක්ෂකවරයා හැටියට සේවය කරමින් සිටියෙමි.
මෙම කොට්ඨාශය මගින් ක්‍රියාත්මක වු බොහෝමයක් මෙහෙයුම් මගේ උපදෙස් සහ නියෝග මත ක්‍රියාත්මක වූ අතර දැනට මීගමුව කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරියවරේක ලෙස සේවය කරන ගාමිණි රත්නායක මහතා මගේ ස්ථානාධිපතිවරයා හැටියට කටයුතු කරනු ලැබුවා.
මේ වකවානුවේ මෙම අපරාධ කොට්ඨාශය කෙලින්ම බස්නාහිර පළාත උතුර භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ ක්‍රියාත්මක වූ අතර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස සේවය කරනු ලැබුවේ “සිරි ජයසුන්දර”මහතායි. ඉතා නිහතමානි අවංක නිලධාරියකු මෙන්ම ඔහු සෑම නිලධාරියෙකු කෙරෙහිම ඉතාම සානුකම්පිතව කටයුතු කරන පොලිසියේ හොඳ මහත්මයක් හැටියටයි ප්‍රසිද්ධ.
ගම්පහ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මකව පැවැති සංවිධානාත්මක අපරාධ මෙන්ම සමාජ විරෝධී දූෂණ මර්දන කටයුතු මර්ධනය කිරීම අපරාධ කොට්ඨාශයේ ප්‍රධාන වගකීම වූ අතර මෙම කටයුතු දැඩි කැපවීමකින් යුතුව කටයුතු කළ ඉතා සුළු නිලධාරීන් සංඛ්‍යාවක් වූ කොට්ඨාශයේ සියලුම නිලධාරීන්ගේ සාමූහික සහභාගිත්වය තුළින් ඉතාමත් සාර්ථකව සිදුකරගෙන යමින් පැවතුණා
මෙම වකවානුව වන විට පෑලියගොඩ අපරාධ කොට්ඨාශය විසින් බස්නාහිර පළාත තුළ විශේෂයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කය සහ කොළඹ නගරය තුළ ඉතා සංවිධානාත්මක ක්‍රියාත්මක පැවති අපරාධ කරුවන් විශාල ප්‍රමාණයක් මෙන්ම අවි ආයුධ ද අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබූ අතර විශේෂයෙන්ම දේශපාලන අපරාධ ලෙස ක්‍රියාත්මකව පැවති හිටපු වත්තල ප්‍රාදේශීය සභාව මන්ත්‍රී “සුනිල් මෙන්ඩිස්” ඝාතනය ඒ වගේම කඳාන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඝාතනය කිරීම ඇතුළු දේශපාලනය හා බැඳුණු පාතාල අපරාධකරුවන් සම්බන්ධ අපරාධ රාශියක් විමර්ශනය කිරීම මෙන්ම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබුනා.විශේෂයෙන්ම ඉතා ප්‍රබල අපරාධකරුවකු හැටියට සැලකෙන මා කඳුරේ මදුෂ් ඇතුළු සාමාජිකයන් දහ දෙනෙකුගෙන් පමණ සමන්විත වූ සංවිධානාත්මක කොල්ල කල්ලිය පවා අත්අඩංගුවට ගෙන ස්වයංක්‍රීය ගිනි අවි 11 ක් සහ කොල්ල කනු ලැබූ මිලියන 100 කට අධික වටිනාකමකින් යුත් දේපල සොයාගැනීම සිදුකරනු ලැබුවේත් මෙම වකවානුවේයි.
මේ හේතුවෙන් අපරාධකරුවන්ට මෙන්ම ප්‍රදේශයේ දුරාචාර කටයුතුවල නියුතු පුද්ගලයන්ටද බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාශයේ වැඩකටයුතු ඉතා බාධාවක් පැවතියා.එහෙත් මෙම අපරාධ කොට්ඨාශයේ ක්‍රියාකාරි ස්වරෑපය සහ විශේෂයෙන්ම මෙම වකවානුවේ ප්‍රබල ක්‍රියාකාරි අපරාධකරැවන් ලෙස සැලකුණ කිතුල්උතුව ගමගේ අජිත් වසන්ත නොහොත් වම්බොට්ටා අත්අඩංගුවට ගැනීම හිටපු පලාත් සභා අමාත්‍ය ඩැනී හිත්තැටිය ඝාතකයා වූ “කොමාන්ඩෝ නිශ්සංක” අත්අඩංගුවට ගැනීමට යාමේදීඩසිදුවූ වෙඩි හුවමාරැවක් හේතුවෙන් ඝාතනය වීම.පිලිවෙලින් මනුෂ්‍ය ඝාතන 7 ක් 6් සහ 3 ක් සිදුකර පොලිසිය සමග කට්ට් පනිමින් සිටි දරැණු අන්දමේ අපරාධ කරැවන් ලෙස සැලකුණු “කදානේ ප්‍රදීප්” දිවුලපිටියේ ධම්මික” සහ “ආමි මල්ලී” වැනි අපරාධකරැවන් අත්අඩංගුවට ගැනීමට තැත් කල අවස්ථාවල පොලීසියඉසමග සිදුවූ වෙඩි හුවමාරැ හේතුවෙන් ඝාතනය වීම වැනී සිද්ධීන් නිසා අපරාධ කරැවන් තුල “ පෑලියගොඩ යුනිට් එක” ලෙස හැදින්වුන අපරාධ කොට්ඨාශය කෙරෙහි දැඩි බියක් ජනිතව පැවතියා.මේ හේතුවෙන් ඔවුන් කිසිවකු අපරාධ කොට්ඨාශයට හෝ එහි නිලධාරීන්ට අභියෝග කිරීමට හැකි තත්වයක නොසිටි අතර ඇතිව තිබූ මෙම වාතාවරණය තුල බොහෝ අවස්ථාවල අපේ අත්අඩංගුවට පත්වූ අපරාධ කරැවන්ගෙන් කිසිදු වැඩි ආයාසයක් නොදරා සත්‍ය හෙලිකර ගැනීමට අපට හැකිවූ අතර මෙම තත්වය අපේ විමර්ශණ සාර්ථකත්වය ඉහල අඩියකට ගෙනඒමට මහගු පිටුවහලක් වූ බව කිව යුතුමයි.
“කැරෝකේ” සමාජ ශාලා මුවාවෙන් පවත්වා ගෙනයනු ලැබූ නිල නොවන “ගණිකා නිවාස” මෙන්ම සමාජ පිලිලයක් ලෙස සැලකෙණු “ජැක්පොට්” සූදු මධ්‍යස්ථාන වැටලීමද අපරාධ කොට්ඨාශය දූෂණ මර්දන අංශය විසින් සිදු කරනු ලැබූ අතර මේ සම්බන්ධව විශාල පාලනයක් මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කය තුළ ඇතිව පැවතියා .
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙන්ම කැසිනෝ සහ සූදු ව්‍යාපාරවල යෙදෙන අය මර්ධනය කිරීමට අපරාධ කොට්ඨාශය විසින් සුවිශේෂ වැඩපිළිවෙලක් සකස් කර තිබූ අතර බොහෝ විට දේශපාලන බලපෑම් සහ වෙනත් දූෂණ ක්‍රියා හේතුවෙන් සාමාන්‍ය පොලිස් රාජකාරී ක්‍රියාත්මක නොවන ප්‍රධාන ගණයේ ස්ථාන වැටලීම අපරාධ කොට්ඨාශය දූෂණ මර්දනය අංශය විසින් ප්‍රමුඛ කාර්යයක් ලෙස සිදු කරනු ලැබුවා
මේ අතරතුර තමයි කැලණිය ආසනයේ බලය හොබවන ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ආසන සංවිධායක වරයා ලෙස මර්වින් සිල්වා අමාත්‍යවරයා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පත්කරනු ලැබුවේ.
ඔහුගේ පත්කිරීම මෙන්ම කැලණියේ ආගමනයත් ඉතා උත්කර්ෂවත් අන්දමින් උත්සව මාලාවක් සමග සංවිධානය කර තිබුණා. විශේෂයෙන්ම ඔහු ආසනයට පැමිණි පළමු දිනම කැලණිය රජමහා විහාරයේ විශාල පින්කමක් සූදානම් කර තිබූ අතර දහස් ගණනක් සහභාගීත්වයෙන් පැවති මෙම උත්සවය මහා ඉහළින් පවත්වනු ලැබුවා. මේ වන විට වසර 25 කට වැඩි සේවා කාලයක් සම්පූර්ණ කර සිටි මා විශේෂයෙන්ම විවිධ අවස්ථාවල දේශපාලනඥයන් සමග සමඟ ගැටීම හේතුවෙන් ලද පලපුරුද්ද මෙන්ම අත්දැකීමද මුල්කොට, සහ විශේෂයෙන්ම මර්වින් සිල්වා අමාත්‍ය වරයාගේ දේශපාලන භාවිතය ගැන තිබූ වැටහීමද හේතුකොට “ කාලෝ අයන්තේ” අපේ කාලය පැමිණ ඇතැයි මා හට ඉවෙන් මෙන් වැටහීමක් මේ වනවිටත් මා සිත තුල ජනිතව පැවතියා.
අපගේ සියලුම ක්‍රියාකාරකම්වලට “කනකොකා හඬන” දිනය වැඩි ඈතක නැති බව. මර්වින් සිල්වා අමාත්‍යවරයාගේ දේශපාලන ආගමනයත් සමගම විශේෂයෙන්ම පෑලියගොඩ කැලණිය කිරිබත්ගොඩ දළුගම යන ප්‍රදේශයන්හි ඉතා කෙටි කලක් තුළ හතු පිපෙන්නා සේ නීති විරෝධී සූදු මධ්‍යස්ථාන සහ කරෝකේ සමාජ ශාලා මෙන්ම නීති විරෝධී මත්පැන් විකුණන ස්ථානයන් ඉතාමත් විශාල ප්‍රමාණයක් විවෘත වීම තුලම හොදින් පැහැදිලි වන කරැණක් වුනා.
මේ බොහෝමයක් සමාජ විරෝධි කටයුතුවල යෙදුණේ මීට පෙර විවිධ අවස්ථාවන්හි බලය සිටින රජය සමඟ කටයුතු කර පසුව ඔවුන්ගේ පක්ෂ පාට වෙනස් කරමින් මේ වන විට මර්වින් සිල්වා අමාත්‍යවරයාගේ දේශපාලන අන්තේවාසිකයන් බවට පත්ව සිටි පුද්ගලයෙනුයි.
මෙම කණ්ඩායමේ සිටි එක් පුද්ගලයෙකු එක්සත් ජාතික පක්ෂය බලයේ සිටින වකවානුවේ ඔහුගේ සමාජ ශාලාව සම්බන්ධව කතා කිරීමට මගේ කාර්යාලයට පැමිණ මා විසින් කාර්යාලයෙන් එලවා දමනු ලැබූ පුද්ගලයකු වූ අතර, ඒ අවස්ථාවේදී ඔහු ඔහුව හඳුන්වා දෙනු ලබුවේ “දොම්පේ” ආසනයේ ජෝන් අමරතුංග අමාත්‍යවරයාගේ සංවිධායකවරයා හැටියටයි. එම පුද්ගලයාට අයත් මහා පරිමාණයෙන් දළුගම නගර මධ්‍යයේ පවත්වාගෙනයනු ලැබූ සමාජ ශාලාව දිගින් දිගටම සිදුකල අඛන්ඩ වැටලීම් හේතුවෙන් මේ වන විටත් වසා දමා තිබූ අතර මගේ මතකයේ හැටියට “ ටෝනි” නමින් හදුන්වනු ලැබූ ඔහු මේ වනවිට මර්වින් සිල්වා අමාත්‍ය වරයාගේ අග්‍ර ශ්‍රාවකයකු බවට පත්ව සිටියේ ඔහු කලින් පැලද සිටි “කොල පාට” සළු පිලි සැනෙකින් ඉවද දමමිනුයි.
මා මෙම සිද්ධිය සඳහන් කරනු ලබන්නේ “දේශපාලන චෞරයන්” හැම විටම තමන්ගේ ලාභ ප්‍රයෝජන සහ ව්‍යාපාර කටයුතු සඳහා තිබෙන දේශපාලන පක්‍ෂය සමඟ සම්බන්ධව වැඩ කරන ආකාරය ගැන පැහැදිලි චිත්‍රයක් ඉදිරිපත් කිරීමටයි.
මර්වින් සිල්වා අමාත්‍යවරයා සංවිධායකවරයා වශයෙන් පත් වීමෙන් පසු ඔහුගේ අණසකට යටත්ව ඔහුගේ අන්තේවාසිකයන් හැටියට කටයුතු කරමින් සිටින “චෞර වළල්ල” විසින් අප ඉතාමත්ම හොඳින් පාලනය කරගෙන ගිය දූෂණ මර්දන කටයුතු දිනෙන් දිනම අකර්මණ්‍ය වන ආකාරයටත් ඒ වෙනුවට විවිධ දූෂණ මර්දන මධ්‍යස්ථාන ප්‍රදේශය පැතිර යන අන්දමත් මා උපේක්ෂා සහගතව බලා සිටියේ වෘත්තීය ජීවිතය සම්බන්ධව ඇති වූ දැඩි කලකිරීමක් සමඟයි.විශේෂයෙන්ම මේ ප්‍රදේශයේ දූෂණ ක්‍රියා වර්ධනය ඇරඹීමත් සමගම නැවතත් අප විසින් යටපත් කරගෙන තිබූ සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් නොහොත් පාතාල ක්‍රියාකාරකම් ඉතා දැඩි වන තත්ත්වයක් පෙන්නුම් කරනු ලැබූ අතර විශේෂයෙන්ම අමාත්‍යවරයා සමග ඉතා කිට්ටු සම්බන්ධකම් පැවැත්තුව මාලිගාවත්තේ “කුඩු ලාල්” වැනි ප්‍රධාන ගණයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පවා අප විසින් හොඳින් පාලනය කර තිබූ ප්‍රදේශයන් ආක්‍රමණය කරන ආකාරය සම්බන්ධව දිනෙන් දිනම තොරතුරුද වාර්තා වෙමින් තිබුනා.
මෙම තත්වය යටතේ මගේ ජේෂ්ඨ නිලධාරියා වූ නියෝජ්‍ය පොලිස්පති වරයා මුණගැසී ප්‍රදේශයේ දිනෙන්දින වර්ධනය වෙමින් පවතින මෙම තත්වය එතුමාට පැහැදිලි කරදීමට අවසානයේ ම විසින් තීරණය කරනු ලැබූ අතර නුදුරු දිනකම මා නියෝජ්‍ය පොලිස්පතිතුමාගේ කාර්යාලයට ගොස් ප්‍රදේශයේ වර්ධනය වෙමින් පවතින මෙම දූෂණ කටයුතු සහ ඒවා එක එල්ලේම අපරාධයන් සඳහා බලපාන ආකාරය එතුමාට පැහැදිලි කර දී මෙම ස්ථාන මර්දනය කිරීම සඳහා එතුමාගේ අවසරය මෙන්ම උපදෙස් ද පතනු ලැබුවා.
මේ අවස්ථාවේදී එතුමා ඉතාමත් පැහැදිලිව මට කිව්වා
“ප්‍රියන්ත ඔය කිසිම දේකට මගේ කිසිම සම්බන්ධයක් නෑ. ඔයා ඒ සම්බන්ධ සියලුම වැටලීම් කරන්න කියලා” මේ අනුව එදිනම මගේ යටතේ සේවය කළ දූෂණ මර්දන කටයුතු භාරව සිටි උප පොලිස් පරීක්ෂක ප්‍රභාත් (දැනට ඔහු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු ලෙස ගම්පහ කොට්ඨාශයේ) සේවය කරනු ලබනවා ඇතුළු නිලධාරීන් කණ්ඩායම සූදානම් කර. අප විසින් ඒ වන විට හඳුනාගෙන තිබූ ප්‍රධාන ගණයේ දූෂණ මධ්‍යස්ථාන වැටලීම සඳහා අවශ්‍ය උපදෙස් නිලධාරීන් කණ්ඩායමට දෙනු ලැබුවා.
සවස හතට පමණ ආරම්භ වූ මෙම මෙහෙයුම රෑ දහය පමණ වනතුරු එක එල්ලීම් ක්‍රියාත්මක වූ අතර මම නිතරම ජංගම දුරකථනය මගින් උප පොලිස් පරීක්ෂකවරයාට කතා කරමින් සිදුවීම්වල ප්‍රගතිය පරීක්ෂා කිරීම නිරතුරුවම සිදුකරනු ලැබුවා.
සවස හතේ සිට රෑ දහය පමණ වන විට ප්‍රධාන ගණයේ වැටලීම් හතක් ඔහු විසින් සිදුකර ජැක් පොට් යන්ත්‍ර මත්පැන්, ඇතුළු විශාල නඩු භාණ්ඩ ප්‍රමාණයක් අපරාධ කොට්ඨාශය වෙත රැගෙන විත් තිබුණා.
මෙහෙයුම ක්‍රියාත්මකව පැවති කාලය අතරතුර මා නිවසේ රාත්‍රිය ආහාර කරමින් සිටියදී මේ මෙහෙයුමට නායකත්වය සැපවූ ඔහු පොලිස් පරීක්ෂකවරයා මගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලබා දී දන්වා සිටියා අවසාන වැටලීම ලෙස දළුගම මංසන්ධියේ “ටෝනි” නැමැති පුද්ගලයා විසින් නීති විරෝධී ලෙස පවත්වාගෙන යනු ලැබූ රාත්‍රියේ සමාජ ශාලාවක් වැටලූ බවත් එම සමාජ ශාලාව තුළ මේ වන විට දේශීය සහ විදේශීය මත්පැන් බෝතල් හැත්තෑ හයක් (76) සහ “කැරෝකේ”නමින් පවත්වාගෙන යනු ලැබූ ගණිකා සේවනයේ යෙදෙන තරුණියන් හය දෙනෙකු සමග ආයතනය අයිතිකරු අත්අඩංගුවට ගෙන සිටින නමුත් ඒ වනවිට එම ස්ථානයට පැමිණ සිටින කැලණියේ ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු ( කොට්ඨාශ භාර නිලධාරියා නොවේ) මෙම වැටලීම අත්හිටවා එම නඩු භාණ්ඩ සහ සැකකරුවන් මුදා හරින්න ලෙසට දන්වා සිටින බවත් මා වෙත පැවසුවා.
මා ඒ අවස්ථාවේදී උප පොලිස් පරීක්ෂක ප්‍රභාත්ට දන්වා සිටියා. මට ඒ ජ්‍යෙෂ්ඨ නිලධාරියාට කතා කරන්න දුරකථනය දෙන්න කියා. මේ අනුව මම එම ජ්‍යෙෂ්ඨ නිලධාරියාට කතා කළා
සර් මම ප්‍රියන්ත ජයකොඩි මොකද්ද ඔතන තියෙන ප්‍රශ්නය?
ප්‍රශ්නයක් නැහැ. මට ඇමතිතුමා කරදර කරනවා මේ ඔයාලට අයිති නැති වැඩ කරන්න යනවා කියලා කරුණාකරලා මේක මෙතනින් නවත්තන්න මොකද අපිටත් ගෙවල් වලට වෙලා කරදරයක් නැතුව ඉන්න ඕනැනේ
සර් ඔය වැටලීම මම කරේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට දන්වලා ඇමතිතුමාට ඕන්නම් කියන්න මට කතා කරන්නේ කියලා එතකොට මම ඒ තත්ත්වය එතුමාට පැහැදිලි කරලා දෙන්නම්
ඔයා කියන හැටියට මට එක එක්කෙනාට කියලා ඔයාගෙන් තත්වය පැහැදිලි කරගන්න ඕනේ නැහැ ඔයා ඕන දෙයක් කරගන්න මම යනවා එහෙනම්
කියා ඔහු දුරකථනය විසන්ධි කලා.
මෙම දුරකථන සංවාදයෙන් පසුව මෙම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා මෙම වැටලීම සිදුකළ උප පොලිස් පරීක්ෂකවරයා වෙත තර්ජනයක්ද සිදු කර තිබුණා
“උඹ දැනගනින් උඹවයි උඹේ මහත්තයවයි දෙන්නටම මොකද වෙන්නේ කියලා සතියක් යන්න ඉස්සර හැබැයි එතකොට අඬාගෙන එන්න එපා” කියලා.මෙම සිදුවීම සම්බන්ධව පොලිස් පරීක්ෂක ප්‍රභාත් එදින අපරාධ කොට්ඨාශයේ තොරතුරු සටහන් පොතේ යොදන ලද දීර්ඝ සටහනට සියල්ල ඇතුළත් කර තිබෙන අතර මේ වන වන විටත් එය නිත්‍යානුකූලව ලේඛනයක් බවට පත්ව තිබෙනවා.මෙම ජේෂ්ඨ පොලිස් නිලධාරියාට මර්වින් සිල්වා අමාත්‍ය වරයා විසින් අනීතික ලෙස කිරිබත්ගොඩ නගර මධ්‍යයේ ඉදිකරනු ලැබූ කඩ කාමර දෙකක් ලබාදී ඇති බවටත් ඔහු මේ වනවිටත් එම දේපල භුක්ති විදිමින් සිටින බවත් ප්‍රසිද්ධ රහසක්.
මෙදින අප විසින් ඉතා සාර්ථක වැටලීම් අටක් සිදුකර විශාල නඩු භාණ්ඩ ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබූ අතර ඒ වගේම මෙම ස්ථානයේ භාරව සිටි සැකකරුවන් විශාල සංඛ්‍යාවක්ද අත්අඩංගුවට ගෙන තිබුණා. සැකකරුවන්ගේ ප්‍රකාශ එදිනම සටහන් කර පසුදින අලුත් කඩේ මහේස්ත්‍රාත් උසාවි අංක පහේ පෙනී සිටීමට දන්වා සැකකරුවන්ට ඇප මත මුදා හැරි අතර පසු දින ඔවුන් සියලු දෙනාටම අධිකරණය ඉදිරියේ අදාළ චෝදනාවන් යටතේ නඩු පැවරීමට මා විසින් කටයුතු කරනු ලැබුවා,
සියලුම නඩු සඳහා චූදිතයන් වරදකරුවන් බව ප්‍රකාශ කිරීම හේතුවෙන් ඔවුනට දඩ ගෙවා නිදහස් කිරීමට අධිකරණය කටයුතු කළ අතර අත්අඩංගුවට ගන්න ලැබූ දේශීය මෙන්ම විදේශීය මත්පැන් විශාල ප්‍රමාණයක් සහ ජැක්පොට් යන්ත්‍ර රාජසන්තක කිරීමද සිදුකරනු ලැබුවා.
නඩු පැවරීම සිදු කළ දින සවස දෙකට පමණ නියෝජ්‍ය පොලිස්පති ජයසුන්දර මහතා මා අමතා දන්වනු ලැබුවා, ඊයේ දළුගම හන්දියේ සිදු කළ වැටලීමට සම්බන්ධව එම සමාජ ශාලාවේ අයිතිකරු වන “ටෝනි” නැමැත්තා එම වැටලීම සිදු කරනු ලැබූ උප පොලිස් පරීක්ෂකවරයා ඔහුට පහරදීමක් සම්බන්ධව පැමිණිලි කරන බවත් ඒ සම්බන්ධව විමර්ශනයක් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය විසින් ආරම්භ කරන බවත් එම විමර්ශණය මෙම වැටලීම සිදුකරන අවස්ථාවේදී අමාත්‍යවරයාගේ උපදෙස් අනුව එම ස්ථානයට ගිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් සිදු කරන බවත්.
ඒ අවස්ථාවේදී මා නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම් දුන්නා මෙම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වැටලීම සිදු කරන අවස්ථාවේදී උප පොලිස් පරීක්ෂකවරයාට තර්ජනය කිරීම සම්බන්ධව ඔහු විසින් සියලුම සටහන් තොරතුරු පොතට මේ වන විටත් ඇතුලත් කර ඇති බැවින් මෙන්ම මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරියා අමාත්‍යවරයාගේ සුවච කීකරු නිලධාරියකු බැවින් මෙම පරීක්ෂණය මගේ උප පොලිස් පරීක්ෂකවරයාට එරෙහිව සිදුකිරීම මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිය අතින් සිදුවීමට මා ඉතා තදින් විරුද්ධ බව.එසේම මේ සම්බන්ධව නියෝජ්‍ය පොලිස්පතිවරයා අමතා වෙනම ලිපියක් සකස්කර මා එදිනම එතුමාගේ කාර්යාලයට යැවීමටද කටයුතු කරනු ලැබුවා.
මෙම සිද්ධිය සිදුවී දින තුනක් හෝ හතරක් ගතවීමෙන් පසු දිනක පොලිස් මුල ස්ථානයේ පිරිස් අංශයේ සේවය කළ මා දන්නා නිලධාරියකු මා වෙත දන්වා සිටියේ මා වහාම ක්‍රියාත්මක වන පරිදිම පොලික් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයට මාරු කර ඇති බවත් ඒ මාරුවීමේ නියෝගය අද හවස නිකුත් වීමට නියමිතව ඇති බවයි
මෙම ස්ථාන මාරුව මා බලාපොරොත්තු සිටි එකක් බැවින් ඒ සම්බන්ධව විශේෂ වෙනස්කමක් මාතුල සිදු නොවූ අතර මගේ ස්ථාන මාරුවත් සමගම බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාශය අධ්‍යක්ෂකවරයා ලෙස මර්වින් සිල්වා අමාත්‍යවරයාගේ මිතුරෙකු ලෙස සැලකෙන එවකට වවුනියාව කොට්ඨාශ මෙහෙයුම් කලාපයක සේවය කරන ලද ජේෂ්ඨ පොලිස් අධිකාරි “ඥානරත්න මහතා” පත්කිරීමේ නියෝගයද එදිනම හවස පොලිස් මූලස්ථානය විසින් නිකුත් කරනු ලැබුවා.
මේ අනුව මා පසු දිනම පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ රාජකාර භාර ගැනීම සඳහා යාමට සුදානම්ව සිටියා.මෙදිනම ජේෂ්ඨ පොලිස් අධිකාරි ඥානරත්න මහතාද වවුනියාවේ කොට්ඨාශයේ සිට පැමිණ බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂකවරයා ලෙස වැඩ භාර ගනුලැබුවා.
ඥානරත්න මහතා වවුනියාව මෙහෙයුම් කලාප ලෙස සේවය කරන සමයේ මා සමඟ ඉතා කුළුපගව රාජකාරි කළ නිලධාරියකු වන අතර මේ හේතුවෙන් එතුමා සහ මා අතර යම් මිත්‍රත්වයක් ගොඩනැගී තිබුනා.රාජකාරි වාර්තා කිරීමෙන් පසු එතුමා මගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටියා
“ප්‍රියන්ත මේ වෙලාවේ එකපාරටම මාව දාලා යන්න එපා මං අයිජිට කියන්නන් ඔයා මට දවස් දෙකක් ඉඳලා මෙතන වැඩ කටයුතු වෙන හැටි ටිකක් පැහැදිලි කරලා දෙන්න” කියලා
මේ අනුව මා තව දින දෙකක් එතුමාගේ සහයට අවශ්‍ය වැඩ කටයුතු පැහැදිලි කිරීම සඳහා රැඳී සිටි අතර මෙම සිද්ධියෙන් පසු දින එවකට පෑලියගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා හැටියට සේවය කරනු ලැබූ ප්‍රධාන පොලිස් පරීක්ෂක කුමාරුපේලි (දැනට ජේෂ්ඨ පොලිස් අධිකාරි හැටියට විශ්‍රාම සිටින) මහතාගේ මවගේ අවමගුල් උත්සවය දෙල්ගොඩ ප්‍රදේශයේ පවත්වනු ලැබුවා.
ඥානරත්න මහතා මා සමග මෙම අවමංගල උත්සවයට සහභාගි වීම සඳහා පෑලියගොඩ සිට එකම වාහනයකින් දෙල්ගොඩ ප්‍රදේශයට බලා පිටපු ගොස් අවමගුල් උත්සවයට සහභාගි වුණා.
අප දෙදෙනාම පූර්ණ නිල ඇඳුමෙන් සැරසී සිටි අතර අප අවමගුල උත්සවයට ගොස් විනාඩි පහක් පමණ ස්ථානයේ රැඳී සිටියදී කැලණියේ ආසන සංවිධායක වරයා වූ අමාත්‍ය මර්වින් සිල්වා විශාල පිරිවරක් සමග එම ස්ථානයට පැමිණියා
මර්වින් සිල්වා එන පෙරමගට ගිය ජේෂ්ඨ පොලිස් අධිකාරී ඥානරත්ත මහතා ඔහුට නිල ආචාර්යක් පවත්වා ඔහුව පිළිගනු ලැබුවා. ඒ අවස්ථාවේදී මාද පූර්ණ නිල ඇඳුමෙන් සිටියත් මට කිසිසේත්ම මෙවැනි දූෂිත අමාත්‍යවරයෙකුට හෘද සාක්ෂියට එකඟව ආචාර කිරීම සිදු කළ නොහැකි නිසා නිහඬව සිටියා.
මර්වින් සිල්වා අමාත්‍යවරයා මේ අවස්ථාවේදී ඥානරත්තු මහතා බදා වැළඳ ගත් අතර “ඥානේ මං හරි අමාරුවෙන් උඹව වවුනියාවේ ඉඳලා මෙතනට ගත්තේ අපි වැඩ කරමු” යැයි පැවසුවා.
ඒ සමගම පූර්ණ නිල ඇඳුමින් සිටියත් අමාත්‍යවරයාට ආචාර නොකළ මා දෙස ඔහු තරමක් නොරුසුම් බැල්මක්ද හෙලනු ලැබුවා
අමාත්‍යවරයා මා අසලට පැමිණ ” මෙතුමා………..” යැයි මා හඳුනා ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ ඒ බව වටහාගත් ඥානරත්න මහතා
” මම හිතුවා සර් මහත්මයාව දන්නවා ඇති කියලා මේ අපේ ඒ එස් පී ප්‍රියන්තජයකොඩි”
මගේ අනන්‍යතාවය අමාත්‍යවරයා වෙත හෙළිකර සිටියා
ඊට පස්සේ ඇති වුනේ හරිම රසවත් සංවාදයක්
“ආ ඔයාද ප්‍රියන්ත ජයකොඩි කියන්නේ, ඔයා අපිට හරියට කරදර කරනවනේ ”
මෙය වනවිට මෙවැනි සංවාදයක් ඇතිවුවොත් ඒ සම්බන්ධව කටයුතු කළ ආකාරය ගැන මා තුළ යම් නස් චිත්‍රයක් ගොඩනැගී තිබූ අතර යන යකා කොරහ බිඳගෙන යමං යයි සිතූ මාද අමාත්‍යවරයාට උත්තර දීම සිදු කලා
ඇමතිතුමා මොනවද අර කරදර කරනවයි කිව්වේ අරපර්මිට් නැති නයිට් නයිට් ක්ලබ් ,ජැක් පොට් අල්ලපු එකද?
ඒ අවස්ථාවේදී ඥානරත්තු මහතාත් තරමක් වික්‍ෂිප්තව අප දෙදෙනාගේ අනපේක්ෂිත සංවාදය දෙස බලා සිටි අතර
මගේ පිළිතුරට කිසිවක් නොකී අමාත්‍යවරයා “ඥානරත්න මහතා” දෙසට හැරී
“ඥානේ උඹ දන්නවනේ මාව ගණන් ගන්නේ නැති උන්ව මං කොහොමවත් ගණන් ගන්නේ නෑ , මගේ මිනිස්සුන්ට උදව් කරන්නෙ නැත්නම් මං කාටද උදව් කරන්න ඕනා බුදුහාමුදුරුවොත් කියලා තියෙනවා “සැවැත් නුවර” ඉඳලා එන සුළඟත් සැපයි කියලා”
ඒ වන විට මගේද ඉවසීමේ සීමාව ඉක්මවා ගොස් තිබූ අතර මම ඔහුට කිව්වා
“හැබැයි ඇමතිතුමා බුදුහාමුදුරුවෝ කියලා නෑ බුදුහාමුදුරුවන්ගේ පා පහස ලැබුණු කැලණියේ විහාරයේ කොත පේන හරියේ නයිට් ක්ලබ් ගණිකා නිවාස පවත්වන්නයි කියලා”
අමාත්‍යවරයා ඉතා නොරිස්සුම් සහගත බැල්මකින් සංග්‍රහයක්ද සිදුකර ඔහුගේ පරිවාර සේනාවද සමඟ අවමගුල් උත්සවය දෙසට ගිය අතර මා ආපසු ඤාණරත්න මාතා සමග මගේ කාර්යාලයට පැමිණ පිටවීමේ සටහනක් යොදා පෑලියගොඩ පරිච්ඡේදය අවසන් කර පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානය වෙත පිටව යාම සිදුකරනු ලැබුවා.
මර්වින් සිල්වා කැලණියේ සංවිධායක ධූරය දැරූ කාලය තුළ ප්‍රදේශයේ නීතිය හා සාමය ප්‍රබල ලෙස බිඳ වැටීම සිදුවූ අතර සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් මෙන්ම කප්පම්කරුවන්ගේද නීති විරෝධී ඉඩම් අත්පත් කරගන්නන්ගේද රාජධානියක් බවට කැලණිය පුරවරය පත්වීම සිදුවිය.ඔහු විසින් ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ගේ කප්පම් මුදල් ලබා ගැනීමෙන් ඉදිකරන ලද මහා දේවාලයක් කැලණිය ප්‍රදේශයේ ඉදිකරනු ලැබූ අතර මෙම දේවාලයේ වාර්ෂික උත්සවය පවත්වනු ලැබුවේද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ව්‍යාපාරිකයින් මෙන්ම නීති විරෝධී දුරාචාර කටයුතුවල යෙදුණු පුද්ගලයින්ගේ අනුග්‍රහයන් වීමද ඉතාමත් සැලකිල්ලට ගත යුතු කරුණකි.
ඔහුගේ සංවිධානාත්මක අපරාධ ජාලයේ කූටප් ප්‍රාප්තිය ලෙස දැක්විය හැක්කේ ඔහුගේම පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ඔහුගේ ඇතුළත වළල්ලේ සිටි චෞරයන් කණ්ඩායමක් විසින් ව්‍යාපාරික ප්‍රශ්නයක් මත කිරිබත්ගොඩදී වෙඩි තබා ඝාතනය කිරීමයි. මෙම සිද්ධිය එකම පක්ෂයේ කණ්ඩායම් දෙකට වෙන්වීමට හේතු වූ අතර සිරස මාධ්‍යවේදීන්ට පහරදීම, ව්‍යාපාරිකයින්ගෙන් කප්පම් ලබා ගැනීම.රජයට අයත් ඉතා වටිනා දේපළ හොර ඔප්පු මගින් කුණු කොල්ලෙට පවරාගෙන ව්‍යාපාරිකයින් අතට පත් කිරීම.රාජ්‍ය සේවකයෙකු ගස් බැඳ සමස්ත රාජ්‍ය සේවයටම ප්‍රසිද්ධියේ නිග්‍රහ කිරීම රූපවාහිනි සංස්ථාවට කඩා වැදීම එහි සේවකයින්ට පහර දී ඔවුන් අතර ප්‍රාණ ඇපකාරයකු බවට පත්වීම,මෙම සිද්ධියට මුල්වූ කුප්‍රකට “කුඩූ නුවන්” නැමැති දාමරිකයාට සහ අමාත්‍ය වරයාට පහරදුන් කාන්තා නිලධාරිණියක් ඇතුළු රෑපවාහිණි සේවකයන් තිදෙනෙකුට නාදුනන දාමරිකයන් යොදවා දැලි පිහි වලින් සහ කඩුවකින කපා තුවාල සිදුකිරීම වැනි සිද්ධීන් රාශියක් වේ
මේ ආකරයට සිය පොලිස් නිලධාරියෙක් වශයෙන් සේවය කරන සමයේ සිදුවූ සත්‍ය සිදුවීම් පිළිබදව වැඩිදුරටත් සදහන් කර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා අවසාන වශයෙන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා පිළිබදව දක්වා තිබුණේ මෙවන් අදහසකි
මර්වින් සිල්වා යනු කලක් ශ්‍රී ලාංකීය දේශපාලන අම්බරේ දිදුලන තරුවක් බවට පත්ව සිටි චරිතයකි.තමා දුටුගැමුණු පරපුරෙන් පැවත එන්නෙකු බව නිතර සඳහන් කරමින් සිටි ඔහු සමාජයේ ප්‍රසිද්ධ වූයේ “ලෝකෙල් දුටුගැමුණු ලෙසය.සැමවිටම සිංහල ජාතිය, ජාතිකත්වය ගැන කතා කරමින් සුදු පිරුවටින් සැරසී සිටි ඔහුගේ ව්‍යාජ “සුදු චරිතය” තුළ “සැබෑ කළු චරිතයක්” සැඟව සිටි බව මේ වන විටත් එළිදරව් වෙමින් පවතින සිද්ධීන් හේතුවෙන්. සමාජයට විවර වෙමින් පවතී.
එකල රාජපක්ෂ රිජීමය තුළ මැර අමාත්‍යවරයකු ලෙස ප්‍රසිද්ධව සිටිි ඔහු තමාට හිතුණු හිතුණු දේ කිරීමට සෑම විටම තැත් කරනු ලැබුවේ “නීතිය සැමට යටින්” යන සංකල්පය ඔහු කළ තිබූ නිසා බව පැහැදිලිය.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි මාලිගාවතේ කුප්‍රකට “කුඩු රජු” ලෙස හඳුන්වන “කුඩුලාල්” නැමැත්තා සිය නිල රථයේ නංවාගෙන කොළඹ සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වතෙ රැගෙන ගොස් විදේශගත කිරීමේ සිද්ධියටද අමාත්‍යවරයාගේ නම ගෑවුණු බව එකල ප්‍රසිද්ධ රහසක් විය.
බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක වූ පැවැති විශේෂයෙන්ම කොළඹ නගරයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ පාතාල අපරාධකරුවන් සමග අමාත්‍යවරයා අතර තිබූ සම්බන්ධය හෙළිවන කරුණු රාශියක් එකල මාධ්‍ය වාර්තා කර තිබූ අතර
කෙසේ වෙතත් මේ වන විටත් කලක් ඔටුනු නොපළන් රජෙකු ලෙස වැජඹුණු මෙම අමාත්‍යවරයා අද පත්ව සිටින තත්ත්වය ඉතා කණගාටුදායක බව කිවයුතුමය.
” සිදුවීම් සිදුවන්නේ හඩන්නටවත්, සිනාසෙන්නටවත් නොව පාඩමක් ඉගෙන ගැනීමට” බව අප විසින් අමතක නොකළ යුතු
ම කරුණක් බව අවසානයේ සටහන් කරමි.
කෙසේවෙතත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි ගෙ මෙකී ප්‍රකාශ හමුවේ පැහැදිලි වන කරුණ නම් ශ්‍රී ලාංකීය සමාජය දේශපාලනික වශයෙන් මහා ඛේදවාචකයක් කරා රැගෙන යාමට දේශපාලනය පාතාලය අතර වූ අනියම් සම්බන්ධය සමත් වි ඇති බව සදහන් කල යුතුමය . අදටත් විරසක නොවූ මේ සම්බන්ධය ඉදිරි දශක ගණනාවක් පුරාවට තවදුරටත් පිළිලයක් නොවන්නට නම් ගසෙන් පොත්ත ඉවත් කළ යුතුමය නොඑසේනම් ගසම මුලින් උපුටා දැමීමට හෝ සිදුවනු ඇති.