පසුගියදා ජනාධිපති අනුර දිසානායකගේ අතින් විවෘත කෙරුණු, ගල්කිරියාගම, පහමිණියාගම පිහිටි සිරිසදහම් විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද තෙමහල් ධාතු මන්දිරය සොරුන් විසින් බිඳ දමා ඇති බව වාර්තා වේ. විචිත්‍ර ධර්ම කථීක පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ගේ මූලිකත්වයෙන් ගොඩනැඟුණු, පසුගියදා ජනාධිපති අනුර දිසානායක මහතාගේ සුරතින් විවෘත කෙරුණු මෙම පූජනීය ස්ථානයට එල්ල වූ මෙම පහරදීමෙන් බැතිමතුන් දැඩි කම්පනයට පත්ව සිටිති.
ලැබෙන තොරතුරු අනුව, විහාරයේ ධාතු මන්දිරයට බලහත්කාරයෙන් ඇතුළු වී ඇති සොරුන් එහි තැන්පත් කර තිබූ වටිනා කරඬුවක් සහ මංජුසාවක බහා තිබූ කුඩා මැණික් ගල් දහනවයක් (19) සමඟ මුදල් තොගයක් ද සොරකම් කර ඇත.
මෙම අතිශය කනගාටුදායක සිදුවීම සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලීසිය මේ වන විට පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, අපරාධකරුවන් කඩිනමින් නීතිය හමුවට පමුණුවනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙවැනි පූජනීය ස්ථානවලට සිදු වන මෙවැනි අපරාධ වැළැක්වීමට අදාළ බලධාරීන්ගේ කඩිනම් අවධානය යොමු විය යුතු බවට ජනතාව අදහස් පළ කරති.