එළඹෙන ජුනි 20වැනිදා ඇතිවන්නට නියමිත ශ්රේෂ්ඨාධිකරණයේ විනිසුරු පුරප්පාඩුවක් සඳහා පත්කරන ලෙස, අභියාචනාධිකරණ වැඩ බලන සභාපති එම් ටී මොහොමඞ් ලෆාර්ගේ නම ජනාධිපති අනුර කුමාර දිසානායක ආණ්ඩුක්රම ව්යවස්ථා සභාවට යවා ඇතැයි ‘අනිද්දා’ පුවත්පත සිය ප්රධාන සිරස්තලයෙන් යුතුව වාර්තාකර ඇත.
එම පුවත් වාර්තාවේ මෙසේද සඳහන් වේ.
ජනාධිපතිවරයා ලෆාර්ගේ නම සභාවට යවා ඇත්තේ පසුගිය ජුනි 9 වැනිදාය.
එහෙත්, ශ්රේෂ්ඨාධිකරණයේ විනිසුරු ධුරයක් හිස් වන්නට නියමිතව ඇත්තේ ජුනි 20 වැනිදා වන අතර, ඒ විනිසුරු ගාමිණී අමරසේකර විශ්රාම ගැනීම නිසාය.
සාමාන්යයෙන් ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරයක් පුරප්පාඩු වන තෙක් එම ධුරය සඳහා නාම යෝජනාවක් ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්රම ව්යවස්ථා සභාවට යවනු ලබන්නේ නැත.
ඒ අතර වාර්තා වන්නේ, අභියාචනාධිකරණ සභාපති මොහොමඩ් ලෆාර්, මෙම ජුනි මස 18 වැනිදා, (එනම් ශ්රේෂ්ඨාධිකරණ පුරප්පාඩුව ඇතිවීමට දින දෙකකට පෙර) සිය වයස අවුරුදු 63 සම්පූර්ණ වීම නිසා විශ්රාම ලැබීමට නියමිත බවයි. ජනාධිපතිවරයා ලහි ලහියේ ඔහුගේ නම ආණ්ඩුක්රම ව්යවස්ථා සභාවට යවා ඇත්තේ, ඔහු විශ්රාම ගැනීමට පෙර ශ්රේෂ්ඨාධිකරණයට පත්කිරීමට විය හැකිය.
(ශ්රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් විශ්රාම ගන්නේ වයස අවුරුදු 65 දීය) එහෙත් එවැනි සම්ප්රදායක් අධිකරණ ක්ෂේත්රයේ මෙතෙක් පැවැතී නැතැ’යි අධිකරණ ආරංචි මාර්ග කියයි.
අගවිනිසුරු නිර්දේශය ලැබිලත් නැහැ
ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 41(ඇ) ව්යවස්ථාවට අනුව, ආණ්ඩුක්රම ව්යවස්ථා සභාව ඉහළ අධිකරණවලට පත්කිරීම් පිළිබඳ සිය තීරණය ගැනීමට පෙර අගවිනිසුරුවරයාගේ/වරියගේ අදහස විමසිය යුතුය.
ඒ නිසා, අගවිනිසුරුගේ නිර්දේශය එම විනිසුරුවරයා/වරිය නම් කිරීමට පෙර ලබාගැනීම සාමාන්ය සම්ප්රදාය වෙයි. එහෙත්, දැනගන්නට තිබෙන පරිදි ලෆාර් විනිසුරුවරයා සම්බන්ධයෙන් අගවිනිසුරු මුර්දු ප්රනාන්දුගේ නිර්දේශය ද ලැබී නැත.
මීට පෙර පසුගිය ජනවාරි මාසයේදී ශ්රේෂ්ඨාධිකරණ විනිසුරුධුර හතරක් සඳහා පුරප්පාඩු ඇතිවූ විට, ඒ සඳහා අගවිනිසුරුවරිය නිර්දේශ කළ නම්වලද ජ්යෙෂ්ඨ විනිසුරුවරයකු වුණත්, ලෆාර් මහතාගේ නම් තිබුණේ නැත. ඒ නිසා ජනාධිපතිවරයාද ඔහුගේ නම ආණ්ඩුක්රම ව්යවස්ථා සභාවට යෝජනා නොකළේය. ඒ හේතුවෙන් ලෆාර් මහතාට වඩා ජ්යෙෂ්ඨත්වයෙන් අඩු අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන සම්පත් විජේකෝන් සහ සම්පත් විජේරත්න යන විනිසුරුවරු ද, ජ්යෙෂ්ඨත්වයෙන් ඉහළ සිටි සෝභිත රාජකරුණා හා මේනකා විජේසුන්දර යන විනිසුරුවරුද අගවිනිසුරුවරියගේ නිර්දේශ මත ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු පත්වීම් ලදහ.
එම අවස්ථාවේදී ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරයක් සඳහා සුදුසු යැයි අගවිනිසුරුවරිය විසින් නිර්දේශ නොකරන ලද ලෆාර් විනිසුරුගේ නම, මේ අවස්ථාවේදී ජනාධිපතිවරයා විසින් යෝජනා කෙරෙන්නට තරම් සිදුවූ වෙනස හා හේතුව කුමක්දැයි අධිකරණ ක්ෂේත්රයේ අවධානයට යොමුවී තිබේ.
මිට පෙර ලෆාර් විනිසුරුවරයා අභියාචනාධිකරණ සභාපති ධුරයට පත්කරන විටත්, ඔහුට අගවිනිසුරුවරියගේ නිර්දේශය නොතිබුණු අතර, ඒ බව නොසලකා ආණ්ඩුක්රම ව්යවස්ථා සභාවේ සාමාජිකයන් දස දෙනාගෙන් හය දෙනකු (එනම් ආණ්ඩු පක්ෂ – විපක්ෂ දේශපාලන පත්වීම් ලබා එහි සාමාජිකයන් වන පිරිස) ඔහුට පක්ෂව ඡන්දය දී තිබුණු අතර, විරුද්ධ වී තිබුණේ සිවිල් සමාජය නියෝජනය කරන සභිකයන් තිදෙනා පමණකි.
අගවිනිසුරුවරිය ශ්රේෂ්ඨාධිකරණයට නිර්දේශ නොකළ විනිසුරුවරයකු, අභියාචනාධිකරණයේ සභාපති ධුරයට සුදුසු වන්නේ කෙසේදැයි ඒ අවස්ථාවේදීද අධිකරණ ක්ෂේත්රයේ පැන නැගී තිබුණු ප්රශ්නයකි.
ආණ්ඩුක්රම ව්යවස්ථා සභාව අද (ජුනි 13) පස්වරුවේ රැස්වීමට නියමිතය.
(සටහන | නීතිඥ කේ. ඩබ්ලිව්. ජනරංජන)
අනිද්දා ප්රධාන කර්තෘ
kwjanaranjana@gmail.com