මීට වසර හයකට පෙර රටම කම්පා කළ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාවලිය දේශපාලනඥයන්ගේ හිස් පොරොන්දු සහ රාජ්‍ය ආයතනවල නිද්‍රාශීලී භාවය හමුවේ මුළුමනින්ම බිඳ වැටී ඇති බවට අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියෝ අද (ජූනි 13) දැඩි ලෙස චෝදනා කළහ. දේව මෙහෙයක් අමතමින් උන්වහන්සේ සඳහන් කළේ, විශේෂයෙන්ම ජාතික ජනබලවේගය පවා තම ප්‍රතිපත්ති ප්රකාශනයේ දුන් පොරොන්දු තවමත් ඉටු නොකිරීම “සසල කරවන සුළු” බවයි.
“ඒ කතන්දරය ඉවර වෙන්නේ නෑ වගේ මේ වැඩ පිළිවෙල පිටුපස්සේ ක්‍රියාත්මක වුණු කණ්ඩායම කවුද කියලා හොයාගන්නට තාමත් අපට බැරි වෙලා තියෙනවා,” උන්වහන්සේගේ හඬේ වූයේ කනගාටුවට වඩා කෝපයකි. “මෙච්චර උත්සාහ කරලත් ඕක හොයාගන්න බෑ. අවුරුදු හයක් තිස්සේ ඕනෑවට එපාවට ඒ වැඩේ කරනවා නම් අපි ඒ මිනිස්සුන්ගේ ජීවිත වලට කරන්නේ අගෞරවයක්!”
අධිපති කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ 200කට අධික ප්‍රමාණයක් කිසිදු දේශපාලන නායකයෙකු හෝ පක්ෂයක් ක්‍රියාවට නංවා නොමැති බව කාදිනල් හිමියෝ පෙන්වා දුන්හ. උන්වහන්සේගේ දැඩි විවේචනයට ලක් වූයේ, කලින් තොරතුරු ලැබී තිබියදීත් ප්‍රහාරය වැලැක්වීමට අසමත් වූ හිටපු ජනාධිපතිවරයෙකු, අගමැතිවරයෙකු, පොලිසියේ හා ආරක්ෂක අංශවල උසස් නිලධාරීන් සම්බන්ධයෙන් කිසිදු නීතිමය හෝ විනයානුකූල ක්‍රියාමාර්ගයක් නොගැනීමයි.
“මෙතෙක් කල් නීතිපති දෙපාර්තමේන්තුව මේ ගැන කිසිවක් නොකර සිටීම ලැජ්ජා සහගත බව කිව යුතුය,” උන්වහන්සේ තවදුරටත් අවධාරණය කළේය. “ඇතැම් දේශපාලන නායකයින් හට බැල මෙහෙවර කිරීමට ඇති ආශාව තුළ හැසිරෙන මෙවැනි දෙපාර්තමේන්තු හා රජයේ උසස් යැයි කියාගන්නා නිලධාරීන් හැසිරෙන ආකාරය අපි දකිමු.” මෙම ප්‍රකාශය, යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට දේශපාලන අතපෙවීම් සිදුවන බවට උන්වහන්සේ කරන සෘජු චෝදනාවකි.
පසුගිය මැතිවරණ සමයේදී රජය විසින් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට ලබා දුන්, වෝහාරික විමර්ශන සඳහා මග පෙන්වීමට සහ නඩු කටයුතු පවත්වාගෙන යාමට බලතල ඇති විශේෂ අභිචෝදකවරයෙකු සහ කාර්යාලයක් ස්ථාපිත කිරීමේ පොරොන්දුව අද දක්වාම ඉටු වී නොමැති බව කාදිනල් හිමියෝ දැඩි කනගාටුවෙන් ප්‍රකාශ කළහ.
ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්රකාශනයේ සඳහන් පොරොන්දු පිළිබඳවද උන්වහන්සේ විශේෂයෙන් අවධානය යොමු කළේය. “ජාතික ජනබලබවේගයේ ප්‍රතිපත්ති ප්රකාශනය අප වෙත ඉදිරිපත් කරමින් එදා පාස්කු ප්‍රහාර විමර්ශන පිළිබඳව අපට දුන් පොරොන්දුව තවමත් එලෙසම ඉටුවී නොමැතිවීම හා ඒ සඳහා මූලික වැඩ පිළිවෙලක් හෝ දියත් කිරීමට නොහැකිවීම අප සසල කරවන්නක්,” යැයි කාදිනල් හිමියෝ අවසන් වශයෙන් සඳහන් කළහ.
පාස්කු ප්‍රහාරයට යුක්තිය පතා ජනතාව සහ කතෝලික සභාව දරන අරගලය, දේශපාලන බල අරගල හමුවේ යටපත් වී ඇති බවට මෙම ප්‍රකාශය දැඩි අනතුරු ඇඟවීමක් කරයි. යුක්තිය පමා වීම, යුක්තිය ප්‍රතික්ෂේප කිරීමට සමාන බව කාදිනල් හිමිගේ මෙම ප්‍රකාශය තුළින් නැවත වරක් ප්රබලව ගම්‍ය වේ.