ආචාර්ය උපාධිය තවමත් අතුරුදන්..! – අසෝක රන්වල කෝ?

ජාතික ජන බලවේගය (NPP) ආණ්ඩුවේ පාර්ලිමේන්තුවේ ප්‍රථම කතානායකවරයා ලෙස පත්වූ අශෝක රන්වල, සාවද්‍ය අධ්‍යාපන සුදුසුකම් ඉදිරිපත් කිරීමේ චෝදනාවක් මත ඉල්ලා අස්වී ඊයේ (ජූනි 13) වන විට මාස 6ක් සම්පූර්ණ වී තිබේ. තම උපාධි සහතිකය ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට පොරොන්දු වෙමින්, ඔහු කතානායක ධුරයෙන් ඉල්ලා අස්වූයේ 2024 දෙසැම්බර් 13 වැනිදාය. එහෙත්, මේ වනතෙක් ඔහුට එම පොරොන්දුව ඉටු කිරීමට නොහැකි වී ඇත.

අශෝක රන්වල ජපානයේ වසීදා විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් සහ මොරටුව විශ්වවිද්‍යාලයෙන් ඉංජිනේරු උපාධියක් ලබාගත් බව ප්‍රකාශ කර තිබුණත්, මේ වනතුරුත් එකී සහතික කිසිවක් ඉදිරිපත් කර නොමැත.

විශේෂයෙන්ම, සයිටම්, කොතලාවල විශ්වවිද්‍යාල ඇතුළු පෞද්ගලික සහ රාජ්‍ය අනුබද්ධ විශ්වවිද්‍යාල පිහිටුවීම අධ්‍යාපනය මුදලට විකිණීමක් ලෙස හඳුන්වමින්, ජනතා විමුක්ති පෙරමුණ (JVP) මෙහෙයවූ දැවැන්ත විරෝධතා සඳහා එවකට එම පක්ෂයේ වෘත්තීය සමිති නායකයකු ලෙස ආචාර්ය අශෝක සපුමල් රන්වල ලෙස ඔහු සහභාගී විය. එසේම, 2024 මහ මැතිවරණයට ඉදිරිපත් වූයේ ද ආචාර්ය අශෝක සපුමල් රන්වල ලෙසිනි.

කෙසේ වෙතත්, අශෝක රන්වල සාවද්‍ය අධ්‍යාපන සුදුසුකම් ඉදිරිපත් කිරීමේ චෝදනාව හමුවේ කතානායක ධුරයෙන් ඉල්ලා අස්වීම, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස හඳුන්වනු ලැබුවේ ජාතික ජන බලවේගය පක්ෂයේ ආදර්ශයක් ලෙසය. ඒ, අශෝක රන්වල ඉක්මනින් සිය අධ්‍යාපන සුදුසුකම් තහවුරු කරනු ඇති බවට වූ සහතිකයක් ද සමඟිනි. එහෙත්, එම පොරොන්දුව මේ වනතුරුත් ඉටු වී නොමැත. මෙය NPP හි ආදර්ශය පිළිබඳ ප්‍රශ්නාර්ථයක් මතු කරන අතර, ජනතාව අතර ද මෙම සිදුවීම සම්බන්ධයෙන් දැඩි කතාබහක් නිර්මාණය වී ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart