රට පුරා කතා බහට ලක්ව ඇති වී – හාල් මාෆියාව සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරමින්, කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා පවසා සිටියේ, මෙම මාෆියාව පිටුපස සිටින බවට චෝදනා ලබන ඩඩ්ලි සිරිසේන වැනි පෞද්ගලික මෝල් හිමියන් නොසිටියා නම් ලංකාවේ
වී – හාල් ප්‍රශ්නය ඉතා බරපතළ තත්ත්වයකට පත්වන්නට ඉඩ තිබූ බවයි. මෙම ප්‍රකාශය, සාමාන්‍යයෙන් මාෆියාකාරයන් ලෙස හංවඩු ගැසෙන පුද්ගලයන්ට අමාත්‍යවරයකු විසින් කරනු ලබන “සැඟවුණු ප්‍රශංසාවක්” ලෙස දේශපාලනයේ කතා බහට ලක් වේ. රට පුරා සංවර්ධන වැඩසටහන් රැසක් ආරම්භ කරමින් පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, මෙම පෞද්ගලික අංශයේ සහයෝගය නොතිබුණා නම් තත්ත්වය වඩාත් දරුණු වීමට ඉඩ තිබූ බව සඳහන් කළේය.
“හාල් – වී මාෆියාව ඇති කරන පෞද්ගලික අංශයක් ගැන කතා කරනවා. ඩඩ්ලි සිරිසේන වාගේ පිරිස් ඇත්තටම රටේ හිටියේ නැති නම් ඇත්ත කියන්න වෙනවා, මෙම වී හාල් ප්‍රශ්නය තව තවත් අර්බුදයකට පත් වෙනවා. මේ නිසා මේ අයගේද සහයෝගය ඇතිවයි අප වී – හාල් ප්‍රශ්නයට විසඳුම් සොයන්නේ” යනුවෙන් අමාත්‍යවරයා පැවසීය.
තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, රටේ ගොවි ජනතාව ආරක්ෂා කරමින් ඔවුන්ට සහන සැලසීම මෙන්ම ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම රජයේ ප්‍රමුඛතාව බව අවධාරණය කළේය.
“පසුගිය කන්නයේ මේ රටේ ගොවි ජනතාව කෙඳිරි ගෑවේ නෑ, නියමිත පරිදි සියලුම සහන ඒ අයට ලබාදීම අප සිදු කළා. ගොවියෝ පාරට බැස්සේ නෑ. උද්ඝෝෂණ කළේ නෑ. ඔවුනගේ වීවලට හොඳ මිලක් ලබාදී තිබෙනවා.” යනුවෙන් ඔහු සඳහන් කළේය.
බඩ ඉරිඟු සඳහාද නියමිත මිල ලැබුණු බවත්, ගොවීන්ගේ පිරිවැයට සමාගාමීව ලාභයක් ලබා ගැනීමට හැකිවීම කාලයකට පසු ලද සතුටක් බවත් ලාල් කාන්ත පෙන්වා දුන්නේය.
මෙම යල කන්නයේදී ගොවීන්ට වාසිදායක මිලක් ලබා ගැනීමට කටයුතු කරන බවත්, ඒ සඳහා වී අලෙවි මණ්ඩලයේ සහයෝගය ලබා ගන්නා බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. වී අලෙවි මණ්ඩලයේ වෙනස්කම් සිදු කරන අතරතුර, කන්නයේදී වී අලෙවි මණ්ඩලයට එන තෙත වී වේළා ගැනීමට ඇති නොහැකියාවට විසඳුමක් මේ දිනවල කල්පනා කරමින් සිටින බවද ඔහු පැවසීය.
“තෙත වී වේළා ගන්නේ කෙසේද මෙයට විසඳුම් අප ඉදිරියේදී සකස් කරනවා. අප වී මිලදී ගන්නේ රාජ්‍ය අනුග්‍රහයද ඇතිවයි. ඒ වගේම පෞද්ගලික අංශයේද සහයෝගය ඇතිවයි. මේ ක්‍රම දෙක තුළින්ම අප ගොවියන්ගේ වී මිලදී ගන්නට වැඩසටහන් සකස් කර තිබෙනවා.” අවසාන වශයෙන්, ගොවියා, නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා යන තිදෙනාටම ලාභ ලැබෙන පරිදි, ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය සහිත ආර්ථික ක්‍රමයක් යටතේ සියල්ලන්ටම පහසුකම් ලබාගත හැකි පරිදි කෘෂිකර්මාන්තය දියුණු කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙම ප්‍රකාශය, සම්ප්‍රදායික මාෆියා සංකල්පයට අභියෝග කරමින්, පෞද්ගලික අංශයේ භූමිකාව පිළිබඳව නව දේශපාලන දෘෂ්ටියක් ගොඩනැගීමට උත්සාහයක් ලෙස දැකිය හැකිය.