ප්‍රභාකරන්ගේ අවි ආයුධ කන්ටේනර්වලින් ආවද? අර්චුනාගේ කතාවෙන් CIDට රතු එළියක්

රේගු පරීක්ෂාවකින් තොරව මෙරටට මුදා හරින ලද කන්ටේනර් 323ක් අතර, LTTE සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ට අයත් අවි ආයුධ ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් පසුගියදා පාර්ලිමේන්තුවේදී කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් ආරම්භ කරන ලෙස ඉල්ලා ජන අරගලයේ පුරවැසියෝ සංවිධානය පෙරේදා (ජූනි 15) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් භාර දී තිබේ.

ජන අරගලයේ පුරවැසියෝ ප්‍රධාන ලේකම් චානක බණ්ඩාර ගුණතිලකගේ අත්සනින් යුතුව යොමු කරන ලද මෙම පැමිණිල්ල, පාස්කු ප්‍රහාරයට පෙර හිටපු අධිකරණ අමාත්‍යවරයෙකු එවැනි අන්තවාදී ප්‍රහාරයක් සිදුවිය හැකි බවට පැහැදිලි ප්‍රකාශයක් කර තිබියදීත්, එය වළක්වා ගැනීමට CID අපොහොසත් වීම නිසා පාස්කු ප්‍රහාරය සිදු වූ බව සිහිපත් කරයි. එම නිසා, නැවත එවැනි ආකාරයේ ප්‍රහාරයක් සිදු වීමට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් සිදු කළ ප්‍රකාශය පිළිබඳව වහාම විමර්ශනයක් සිදු කරන ලෙස ඔහු බලධාරීන්ගෙන් දැඩි ලෙස අවධාරණය කරයි.

පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වන්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය හැන්සාඩ් ගත වී ඇති හෙයින්, ඔහුගෙන් ප්‍රකාශ ලබා ගැනීම අවශ්‍ය නොවන බවයි. ඒ වෙනුවට, මෙම ගිනි අවි රැගෙන ආවේ කවුරුන්ද යන්න පිළිබඳව කඩිනම් විමර්ශනයක් ආරම්භ කිරීම වඩා වැදගත් බව එහි දැක්වේ.

මෙම ප්‍රකාශය ශ්‍රී ලංකා රජය සහ තායිලන්තය රජය අතර ද්විපාර්ශ්වීය සබඳතා බරපතල ලෙස දෙදරා යන ප්‍රකාශයක් බවත්, මෙමගින් ශ්‍රී ලංකා රේගුව මෙන්ම තායිලන්ත රේගුවද ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කරන, අනාගත ජාතික ආරක්ෂාව තර්ජනයට ලක් කරන දූෂිත ආයතන බවට පැහැදිලිවම කරුණු අනාවරණය කරනු ඇති බවත් එම පැමිණිල්ල අවධාරණය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart