අනුරගෙන් රාජ්‍ය සේවයේ ආදර්ශය සිරිවර්ධනට – හිටපු ආණ්ඩුවලටත් වක්‍ර ප්‍රහාරයක් ද?

අයහපත් දේ වළක්වා ගැනීමටත්, යහපත් දේ නිර්මාණය කිරීමටත් රාජ්‍ය නිලධාරීන් සතු වගකීම අවධාරණය කළ ජනාධිපති අනුර කුමාර දිසානායක , මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරයෙන් විශ්‍රාම ගිය මහින්ද සිරිවර්ධන රටට මහඟු ආදර්ශයක් සැපයූ බව ප්‍රකාශ කළේය. අද (ජූනි 18) ජනාධිපති කාර්යාලයේ පැවති සමුගැනීමේ උත්සවයේදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක විශේෂයෙන් සඳහන් කළේ, පසුගිය ආර්ථික අර්බුදයෙන් පසු ඇති වූ පරිවර්තනීය යුගයේදී, මෙරට ආර්ථිකය ඉතා සුමට ලෙස හසුරුවමින්, රටට ආර්ථික ජයග්‍රහණ අත්කර දීමට මහින්ද සිරිවර්ධන ලබා දුන් සුවිශේෂී දායකත්වය සහ කැපවීම අගය කරන බවයි.

ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ, පුද්ගලයන්ගේ සැබෑ වටිනාකම් වෙනුවට වෙනත් දේ වටිනාකම් බවට පත්ව ඇති වත්මන් යුගයේ, රටත් සමාජයත් ඉදිරියට ගෙන යාම වෙනුවෙන් පුද්ගල වටිනාකම් පිළිබඳ නව හර පද්ධතියක අවශ්‍යතාවයයි. අධිපරිභෝජනවාදී, දූෂණයෙන් අගතියට පත් රාජ්‍ය සේවයක් වෙනුවට මනුෂ්‍යත්වයෙන් සහ අනෙකා කෙරහි සංවේදී වෙමින් වගකීම් ඉටුකරන රාජ්‍ය සේවයක් රටට අවශ්‍ය බවද ඔහු අවධාරණය කළේය.

එසේම, රාජ්‍ය සේවය පුරවැසියන්ට ඉහළින් තිබෙන සහ ජනතාව සමග කිසිදු සබඳතාවක් නොමැති යාන්ත්‍රණයක් නොවිය යුතු බවත්, තීන්දු තීරණ ගැනීමේදී සෑම විටම එම තීන්දුවලින් ජන ජීවිතයට එල්ල විය හැකි බලපෑම පිළිබඳවද අවධානය යොමු කළ යුතු බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. අත්දැකීම් බහුල සහ ගැඹුරු අවබෝධයක් ඇති ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියකු වූ මහින්ද සිරිවර්ධනගේ රාජකාරී ජීවිතයෙන් තරුණ රාජ්‍ය නිලධාරීන්ට ලබා ගත හැකි ආදර්ශ බොහෝ බවද ඔහු සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක් වූ මහින්ද සිරිවර්ධන සඳහන් කළේ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරය හෙබවූ වසර 03ක සේවා කාලය තම වෘත්තීය ජීවිතයේ සුවිශේෂීම අවස්ථාව බවයි. රටෙහි පාලනයේ වෙනසක් සිදු වුවද තමා කෙරෙහි විශ්වාසය තබමින් අඛණ්ඩව එම ධුරයේ රඳවා ගැනීමට කටයුතු කිරීම පිළිබඳව ජනාධිපතිවරයා වෙත ස්තූතිය පළ කළ ඒ මහතා, තම ධුරයේ කටයුතුවලදී ජනාධිපතිවරයාගෙන් ලැබුණු සහාය විශාල ශක්තියක් වූ බවද සඳහන් කළේය. එසේම, ජනාධිපති අනුර කුමාර දිසානායක තුළ තිබූ විශ්වාසය, දරා ගැනීම සහ අසීමිත කැපවීම නොවන්නට රට ආර්ථික අර්බුදයෙන් මුදා ගැනීමට නොහැකි වනු ඇති බවද මහින්ද සිරිවර්ධන වැඩිදුරටත් සඳහන් කළේය.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධනගේ විශිෂ්ට සේවාව අගයමින් සිහිවටන තිළිණයක් පිළිගැන්වීමද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු සහ මහින්ද සිරිවර්ධනගේ පවුලේ ඥාතීහු ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart