දිගු කලක් තිස්සේ අවිනිශ්චිතව පැවති කොළොන්නාව නගර සභාවේ සභාපති ධුරය අද (ජුනි 18) පෙරවරුවේ පැවති උණුසුම් ඡන්ද විමසීමකින් අනතුරුව ජාතික ජන බලවේගය (NPP) විසින් දිනා ගැනීමට සමත් වී තිබේ.
අද උදෑසන සභාපතිවරයෙකු තෝරා ගැනීම සඳහා පැවති රැස්වීම උණුසුම් මුහුණුවරක් ගත් අතර, එහිදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් 9 දෙනෙකු සභාවෙන් පිටව යාම තීරණාත්මක සිදුවීමක් විය. කොළොන්නාව නගර සභාවේ ආසන 19 න් 9 ක් NPP සතුව තිබූ අතර, විපක්ෂයට ආසන 10 ක් හිමිව තිබුණි. සාමාන්‍ය තත්ත්වය යටතේ විපක්ෂයට සභාපති ධුරය දිනා ගැනීමට හැකියාව තිබුණද, මෙම සිදුවීමත් සමඟ දේශපාලන තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් විය.
මෙම අවස්ථාවේදී, සමගි ජන බලවේගයේ වැඩිම මනාප ලබා සිටි සුසිල් කුමාර සභාවේ රැඳී සිටිමින් ජාතික ජන බලවේගයට සහාය පළ කිරීම, සමස්ත ක්‍රියාවලියේ හැරවුම් ලක්ෂ්‍යය විය.
ඒ අනුව, පැවති රහස් ඡන්ද විමසීමේදී ඡන්ද 10 ක් ලබා ගනිමින් ජාතික ජන බලවේගයේ ධම්මික විජයමුණි කොළොන්නාව නගර සභාවේ සභාපතිවරයා ලෙස තේරී පත් විය. උප සභාපති ධුරය සමන් සෙනෙවිරත්නට හිමි විය.
NPP ට බලය පිහිටුවීම සඳහා සහාය දුන් සමගි ජන බලවේග මන්ත්‍රීවරයා, ඡන්ද විමසීමෙන් අනතුරුව පොලිස් ආරක්ෂාව මැද සභාවෙන් පිටව යනු දක්නට ලැබීම ද මෙහි ඇති දේශපාලන සංකීර්ණත්වය කියාපායි.