වැඩ තහනමට ලක්ව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා එළැඹෙන ජූලි 9 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබේ.
ජනාධිපති සමාව මත අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියකු නිදහස් කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි චෝදනා මත ඔහු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.
අදාළ නඩුව අද (ජුනි 25) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දුන් බව අධිකරණ ආරංචි මාර්ග සඳහන් කරයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් මහත්මිය සහ විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර ඇත.