කච්චතිව් දූපත රාජ්‍ය තාන්ත්‍රිකව ශ්‍රී ලංකාවට හිමි වී ඇති බැවින්, එය කිසිම හේතුවක් යටතේ වෙනත් පාර්ශ්වයකට පවරා නොදෙන බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා අවධාරණය කරයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, ඉන්දීය ධීවරයින් විසින් ශ්‍රී ලංකාවේ උතුරු මුහුදු තීරයේ සිදු කරන අනවසර මසුන් ඇල්ලීම හේතුවෙන් එම ප්‍රදේශයේ ධීවර සම්පත සීඝ්‍රයෙන් විනාශ වෙමින් පවතින බවයි. මෙම ප්‍රකාශය සිදු කර ඇත්තේ, හදිසි අවස්ථාවක් යටතේ ශ්‍රී ලංකාව සමග ඇතිකරගත් ගිවිසුමක් හේතුවෙන් ඉන්දීය ධීවරයින්ට ශ්‍රී ලංකා මුහුදු තීරයේ මසුන් ඇල්ලීමට තිබූ අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා එරට පැවැති උත්සවයකදී සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමිනි. මෙහිදී අමාත්‍ය චන්ද්‍රසේකරන් මහතා වැඩිදුරටත් පැවසුවේ, ඉන්දියාවේ මැතිවරණ කාලසීමාවන්හිදී කච්චතිව් දූපත සහ ඉන්දීය ධීවරයින් පිළිබඳ නොයෙකුත් කතා එරට දේශපාලන වේදිකාවන්හිදී නිරන්තරයෙන් මතුවන බවයි. මෙම තත්ත්වය, කච්චතිව් ගැටලුව ඉන්දීය දේශපාලනයේ මැතිවරණ ප්‍රචාරක අවියක් බවට පත්ව ඇති බවට ඉඟි කරන අතර, ශ්‍රී ලංකාව තම ස්වෛරීභාවය ආරක්ෂා කර ගැනීමටත්, තම මුහුදු සම්පත් සුරක්ෂිත කිරීමටත් දැඩි අධිෂ්ඨානයකින් කටයුතු කරන බව අමාත්‍යවරයාගේ ප්‍රකාශයෙන් පැහැදිලි වේ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා,
“නීතිවිරෝධීව පැමිණෙන ඉන්දීය ධීවරයින් විසින් අපේ මුහුදු සම්පත සම්පූර්ණයෙන්ම විනාශ කරමින් තියෙනවා. අද උතුරු පළාතේ ගත්තාම 30%කට වැඩි ප්‍රමාණයක් මේ මුහුදු රස්සාවෙන් ජීවත්වෙන පිරිස්. අන්න ඒ අයගේ ජීවිතේ තමයි විනාශ කරමින් තියෙන්නේ.
වෙන කවුරුත් යටතේ නෙමෙයි ඉන්දීය තමිල්නාඩු රජය යටතේ ඉන්න තමිල්නාඩු ධීවරයින් තමයි මේ වැඩේ කරන්නේ. විශේෂයෙන් ඉන්දියාවේ මැතිවරණයක් එනකොට ඒ ගොල්ලෝ හැමදාම ගන්න ආයුධය තමයි කච්චතිව් ලංකාවට දුන්න එක වැරදියි, කච්චතිව් නැවත අපි ලබා ගන්නවා. වගේ කියන කතා…
තමිල්නාඩු ධීවරයින් සිදුකරන මේ විනාශය මේ මුහුදු තීරයේ දිගටම සිද්ධ වුණොත් තව අවුරුදු 20කින් විතර අපේ මුහුදු සීමාව මුහුදු කාන්තාරයක් බවට පරිවර්ථනය වෙනවා. ඒක වළක්වන්න බෑ.”