ත්‍රස්ත සබඳතා තහවුරු කරන්න බෑ! පොඩි සහරාන් නිදහස්..!

දාවූඩි බෝරා ප්‍රජාවේ ආගමික සමුළුවක් රූගත කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් 27 හැවිරිදි මොහොමඩ් ෂෆ්රූල් හෙවත් “පොඩි සහරාන්” නිදහස් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන විසින් අද (ජුනි 30) නියෝග කර තිබේ.

බම්බලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ප්‍රශ්න කිරීම් සඳහා රඳවාගෙන සිටි මොහොමඩ් ෂෆ්රූල් පසුව ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය (TID) වෙත භාර දී ඇති අතර, ඔවුන් විසින් ඔහු අධිකරණයට ඉදිරිපත් කර ඇත.

සැකකරු සම්බන්ධයෙන් CID සිදු කළ ප්‍රශ්න කිරීම්වලින් කිසිදු ත්‍රස්තවාදී හෝ අන්තවාදී ක්‍රියාකාරකමක් අනාවරණය නොවූ බව TID නිලධාරීන් අධිකරණයට දැනුම් දී ඇති අතර, ඉන් අනතුරුව අධිකරණය විසින් ඔහු නිදහස් කිරීමට නියෝග කර තිබේ.

2019 පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගෙන සිටි “පොඩි සහරාන්”, පසුගිය සිකුරාදා (ජුනි 27) බෝරා පල්ලිය අසල ආගමික උත්සවයක් අතරතුර වීඩියෝ දර්ශන පටිගත කරමින් සිටියදී බම්බලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

රජයේ පුවත්පතක් වන “දිනමිණ” පුවත්පතට අනුව, ඔහු සිය ජංගම දුරකථනයෙන් පල්ලිය අවට ප්‍රදේශය සහ ඒ ආසන්නයේ ඇති දුම්රිය ස්ථානය රූගත කරමින් සිට ඇති අතර, එය රාජකාරියේ නියුතු නිලධාරීන් අතර සැකයක් ඇති කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart