ලෝක ආර්ථික සමුළුවේ දී මා කළ කතාව විකෘති කරලා..! – සුනිල් හඳුන්නෙත්ති

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති අද (ජූනි 30) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, චීනයේ පැවති ලෝක ආර්ථික සමුළුවේදී තමන් කළ කතාව ඇතැමුන් තම අභිමතය පරිදි විකෘති කර ඇති බවයි.

අමාත්‍යවරයා පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේ, තමන් එහිදී පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය දියුණු කිරීමට ඇති විභවය සහ සම්පත් පිළිබඳ පමණක් බවයි.

“මඩකලපුවේ ගුවන් තොටුපළක් තියෙනවා, ඒත් ඒක පාවිච්චි වෙන්නේ නැහැ. අපි ඒක සංවර්ධනය කරන්න ඕන. මේ වෙලාවේ උතුරු සහ නැගෙනහිර පළාත්වල සංචාරක සහ කර්මාන්ත ක්ෂේත්‍රවල විශාල විභවයක් තියෙනවා. ආර්ථිකය හා නීතිය බිඳ වැටිලා නම් මේ විභවය ඇති වෙන්නේ නැහැ,” අමාත්‍යවරයා පැවසීය.

ආණ්ඩුව මේ වන විට මුහුණ දෙන අභියෝග කිහිපයක් ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. “අපේ උගත් පුරවැසියන් සහ දක්ෂ තරුණයින් විදේශගත වෙනවා, මේක බොහෝ ආසියානු රටවල් මුහුණ දෙන අර්බුදයක්. ශ්‍රී ලංකාවට යුරෝපයෙන් මත්ද්‍රව්‍යත් ගලාගෙන එනවා,” අමාත්‍යවරයා පැවසූ අතර, සංචාරක කර්මාන්තය දියුණු කරන අතරතුර පවතින මත්ද්‍රව්‍ය ජාවාරම් ඉවසිය නොහැකි බවද අවධාරණය කළේය.

අඛණ්ඩව බලයට පත්වූ ආණ්ඩු ශ්‍රී ලංකාවට සංවර්ධනය සඳහා ඇති විභවය හඳුනා ගැනීමට අපොහොසත් වූ බව අමාත්‍ය හඳුන්නෙත්ති සඳහන් කළේය. තම ආණ්ඩුව මේ වන විට සෑම ක්ෂේත්‍රයකම ඇති විභවය හඳුනාගෙන සංවර්ධන ඉලක්ක කරා කටයුතු කරමින් සිටින බව ඔහු පැවසීය.

“මේක තමයි මම ලෝක ආර්ථික සමුළුවේදී කිව්වේ. ඒත් මගේ කතාව සමාජ මාධ්‍යවල සමහරු විකෘති කරලා තියෙනවා,” අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart