පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනාගේ අසුන අනතුරේ? මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සම විභාගයට!

 

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (ජූලි 2) අවසර දී තිබේ.

කෙසේ වෙතත්, පෙත්සම්කරුගේ ඉල්ලීම පරිදි, අර්ච්චුනා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු සැසිවාරවලට සහභාගී වීම හෝ ඡන්දය ප්‍රකාශ කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් මේ මොහොතේ නිකුත් නොකරන බව විනිසුරු මඩුල්ල ප්‍රකාශ කරන ලදී.

මායාදුන්නේ කොරයා සහ මහේන් ගොපල්ලව යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබිණි. මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඔෂල හේරත් මහතා විසිනි.

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ආශෝක් බරන් මහතා අධිකරණය හමුවේ තර්ක කළේ, අර්ච්චුනා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට තේරී පත්වන අවස්ථාවේදී රජයේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරමින් සිටි අතර, ඔහු වැඩ තහනමට ලක්ව සිටි බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව, රජයේ සේවකයෙකුට පාර්ලිමේන්තුවට තේරී පත්වීමට සුදුසුකම් නොමැති බැවින්, ඔහුට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට හෝ ඡන්දය ප්‍රකාශ කිරීමට නීතිමය හිමිකමක් නොමැති බව නීතීඥ බරන් මහතා කියා සිටියේය.

අනෙක් අතට, රාමනාදන් අර්ච්චුනා මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සේනානි දයාරත්න මහතා අවධාරණය කළේ, සිය සේවා දායකයා පාර්ලිමේන්තුවට තේරී පත්වන අවස්ථාවේදී වැටුප් රහිතව වැඩ තහනමට ලක්ව සිටි බවයි. එම හේතුව නිසා, එම අවස්ථාවේදී ඔහුව රජයේ සේවකයෙකු ලෙස සැලකිය නොහැකි බවත්, ඒ අනුව ඔහුට පාර්ලිමේන්තුවට තේරී පත්වීමට නීතිමය බාධාවක් නොමැති බවත් නීතීඥ දයාරත්න මහතා තර්ක කළේය.

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල, මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර දුන්නේය. මෙම නඩුව නැවත අගෝස්තු මස 01 වනදා කැඳවීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart