අද (ජූලි 9) දින සිට දිනපතා ධාවනය කිරීමට නියමිතව තිබූ ගල්කිස්ස – යාපනය අන්තර් නගර සීඝ්‍රගාමී දුම්රිය නියමිත පරිදි ධාවනය නොකිරීම සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක; අපහසුතාවයට පත් වූ මගීන්ගෙන් සමාව අයැද සිටියේය.
මෙම සමාව අයැදීම සිදු කරනු ලැබුවේ X ඔස්සේ මගියෙකු විසින් අමාත්‍යවරයාට කරන ලද පැමිණිල්ලකට ප්‍රතිචාර වශයෙනි. එම මගියා වාර්තා කර තිබුණේ යාපනය අන්තර් නගර දුම්රිය නිවේදනය කළ පරිදි ගල්කිස්සෙන් පිටත් නොවූ බවයි. ඒ වෙනුවට, කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව දුම්රිය කොළඹ කොටුවෙන් ධාවනය ආරම්භ කිරීමට කල් දමා ඇති අතර, වැල්ලවත්ත දුම්රිය ස්ථානයේ නතර කර නැත. මේ හේතුවෙන් අලුයම 5:00 ට පමණ දුම්රියට ගොඩවීමට සූදානම්ව සිටි මගීන් කිහිප දෙනෙකු කර කියාගත නොහැකිව අසරණ තත්ත්වයට පත් ව තිබේ. ටිකට් පතේ මිල රුපියල් 3,600 ක් වූ බව ද එම පැමිණිල්ලේ සඳහන් ව තිබේ.
X ඔස්සේ ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය රත්නායක තහවුරු කළේ තමා දුම්රිය දෙපාර්තමේන්තුවෙන් මේ පිළිබඳ විමසා බැලූ බවයි. පෙර දින සහ අද දින යන දින දෙකේ ම පොරොන්දු වූ පරිදි දුම්රිය ගල්කිස්සේ සිට ධාවනය කර නොමැති බව ඔහු පිළිගත්තේය.
ඔහු තවදුරටත් කියා සිටියේ, සේවාව නිසි පරිදි ආරම්භ කිරීමට සූදානම් වූ විට පමණක් මහජනතාවට දැනුම් දෙන ලෙසටත්, ඒ සඳහා නිසි විධිවිධාන සලසන ලෙසටත් තමා දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇති බවයි. සිදුවීම සම්බන්ධයෙන් මහජන සමාව අයැදීමක් නිකුත් කරන ලෙස ද අමාත්‍යවරයා දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටියේය.