ශ්‍රී ලංකාවේ රතු කුරුස සහ රතු අඬසඳ ව්‍යාපාරයේ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් පසුගියදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ රතු කුරුස සහ රතු අඬසඳ ව්‍යාපාරය මගින් සංවිධානය කරන ලද මෙම වැඩමුළුව ගරු නියෝජ්‍ය කථානායක (වෛද්‍ය) රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය කතානායකවරයා ප්‍රකාශ කලේ 1936 සිට ශ්‍රී ලංකාවට සේවය කරන ශ්‍රී ලංකා රතු කුරුස සංගමය දුෂ්කර අවස්ථාවන්හිදී රට වෙනුවෙන් පෙනී සිටි බවයි. මැලේරියාව තුරන් කිරීම, සුනාමිය සහ සිවිල් යුද්ධය වැනි විවිධ අවස්ථාවන්හිදී ශ්‍රී ලංකා රතු කුරුස සංගමය විසින් ලබා දුන් සහාය අමතක කළ නොහැකි බව ඔහු පැවසීය. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විවිධ දැනුවත් කිරීමේ ව්‍යාපෘති සහ රුධිර පරිත්‍යාග කඳවුරු ඇතුළු කටයුතු සඳහා ශ්‍රී ලංකා රතු කුරුස සංගමයේ දායකත්වය තමන් අගයන බවයි.
රතු කුරුස සංවිධානයේ සහ රතු අඩසඳ ව්‍යාපාරයේ සාමාජිකයින් තම ජීවිත පරදුවට තබා යුද කලාපවල ජනතාවට ලබා දුන් සහයෝගීතාවයට නියෝජ්‍ය කථානායකවරයා සිය කෘතඥතාව පල කල අතර ශ්‍රී ලංකාවේ රතු කුරුස සහ රතු අඬසඳ ව්‍යාපාරයේ (SLRCS) අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මහේෂ් ගුණසේකර, ජාත්‍යන්තර රතුකුරුස කමිටුවේ (ICRC) ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ හිටපු ප්‍රධානී සෙවරින් චැපාස්, ICRC ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ නව ප්‍රධානී ඇන්ජලික් ඇපෙයිරොක්ස්, ජාත්‍යන්තර රතුකුරුස සම්මේලනයේ (IFRC) දකුණු ආසියාව සඳහා වන දේශීය පොකුරු නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී ජෝන් එන්ට්විස්ට්ල්, SLRCS උපදේශක සුසිල් පෙරේරා, SLRCS සන්නිවේදන ප්‍රධානී රුවන්ති ජයසුන්දර, යන මහත්ම මහත්මීහු මෙම වැඩමුළුවේ සම්පත්දායකයන් ලෙස සහභාගී වූහ.