බොරුවක් කියා පචවී කුට්ටි සමාවගනී

විදේශ රටවලින් ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයට මුදල් ලැබුණ බවත් ඉන් ඩොලර් බිලියන පහක මුදලක් එවකට විපක්ෂය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාගේ නමින් මෝල්ටා රාජ්‍යයේ පවත්වාගෙන යන ගිණුමක තැන්පත් කර ඇති බවටත් තමා ප්‍රකාශ කරනු ලැබුවේ නිසි පරිදි කරුණු තහවුරු කර ගැනීමකින් තොරව බැවින් තමා කළ එම අසත්‍ය ප්‍රකාශය සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක මහතාට කොන්දේසි විරහිතව කනගාටුව ප්‍රකාශ කරනා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා ඊයේ (29දා) කොළඹ දිසා අධිකරණය හමුවේදී පැවැසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා විසින් 2023.10.13 වැනිදා කළ එම ප්‍රකාශයට ජනමාධ්‍ය මගින් විශාල ප්‍රචාරයක් ලබාදී ඇති බවත් එමගින් සිය කීර්තිනාමයට සිදුවූ හානියට රුපියල් බිලියන 10ක වන්දියක් අය කරදෙන ලෙසත් ඉල්ලා අනුර කුමාර දිසානායක මහතා විසින් ගොනුකළ නඩුවක් ඊයේ (29දා) කොළඹ අතිරේක දිසා විනිසුරු චන්දිම ජීවන්දර මහතා ඉදිරියේදී කැඳවූ අවස්ථාවේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා එලෙස පැවැසීය.

එම නඩුව ඊයේ (29දා) උදෑසන කැඳවූ අවස්ථාවේදී විත්තිකාර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අනුරාධ සෙනවිරත්න මහතා අධිකරණයට කරුණු දක්වමින් සිය සේවාදායකයා හා පැමිණිල්ල අතර ඇති කරගත් එකඟතාවය අනුව පැමිණිල්ලට විවෘත අධිකරණය හමුවේදී කනගාටුව ප්‍රකාශ කර නඩු කටයුත්ත අවසන් කිරීමට සූදානම් බව අධිකරණයට පෙන්වා දුන්නේය. එම කරුණු දැක්වීමට පැමිණිලිකාර අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා විරුද්ධත්වය නොදැක්වූයෙන් එලෙස කනගාටුව ප්‍රකාශ කිරීමට සූදානම් දැයි අතිරේක දිසා විනිසුරුවරයා විත්තිකාර තිස්ස කුට්ටිආරච්චි මහතාගෙන් විමසා සිටි අතර ඔහු ඒ බව සනාථ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart