පැලවත්තේ EPF මාස 09කින් ගෙවා නෑ

පැල්වත්ත සීනි සමාගම සේවකයන්ට මාස 9කින් සේවක අර්ථසාධක අරමුදල් (EPF) ගෙවා නැති බවත්, මේ වනවිට එම ආයතනය සේවකයන්ට ගෙවිය යුතු සම්පූර්ණ අර්ථසාධක මුදල රුපියල් ලක්ෂ 3240 ඉක්මවා ගොස් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

පැල්වත්ත හා සෙවනගල සීනි සමාගම්වල වර්තමාන අර්බුදය සම්බන්ධව මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේබව කියා සිටියේය.

මාස 3ක සේවක අර්ථසාධක අරමුදලේ අධිභාරයක් ලෙස රුපියල් ලක්ෂ 230ක් ගෙවන්න සිදුව ඇති බවද ඔහු කීවේය.

ආයතනය විසින් සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා ඉකුත් වසරේ (2024) අගෝස්තු මාසයේදී ලංකා බැංකුවෙන් රුපියල් ලක්ෂ 5000ක ණයක් ගෙන ඇති බවත්, එම වසරේ නොවැම්බර් මාසයේ රුපියල් ලක්ෂ 10000ක ණයක් මෙන්ම පසුගිය දිනකද තවත් ණයක් ගෙන ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසුවේය.

පැල්වත්ත සීනි සමාගම විසින් මේ වනවිට ගොවීන්ට රුපියල් ලක්ෂ 3000 ක්ද, සැපයුම්කරුවන්ට රුපියල් ලක්ෂ 4000ක්ද ගෙවීමට ඇති බවද ඔහු කියා සිටියේය.

පැල්වත්ත සමාගමේ සේවකයන් 3795ක් සේවය කරන බවත්, දළ වශයෙන් ගොවීන් 5700කට ආසන්න ප්‍රමාණයක් මේ තුළින් තම ජීවිකාව ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා පැවසුවේය.

සෙවනගල සමාගමද ගොවීන්ට රුපියල් ලක්ෂ 2050ක් ගෙවීමට ඇති බවත්, රු. ලක්ෂ 150ක සේවක අර්ථ සාධක අරමුදල් ගෙවීම් ක්‍රියාත්මක වී නැති මොහොතක සැපයුම්කරුවන්ට රුපියල් ලක්ෂ 1000ක්ද, රජයට වැට් බදු ලෙස රුපියල් ලක්ෂ 4000ක් ගෙවීමට ඇති බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.

සෙවනගල සීනි සමාගමේ සේවකයන් 1300ක් සේවයේ යෙදී සිටින බවත්, ගොවීන් 3900කට ආසන්න ප්‍රමාණයක් එම සීනි සමාගමට සම්බන්ධවී සිටින බවත්, එම සමාගම විසින් ලංකා බැංකුවට රු. ලක්ෂ 2000ක ණයක්ද ගෙවීමට ඇති බවත් ඔහු කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart