දිනන දකුණෙන් මාලිමාවට සැර ප්‍රහාරයක්

 

ජාතික ජන බලවේගයේ (NPP) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මාසික වැටුප් ඔවුන්ගේ පක්ෂයේ ගිණුමට බැර කිරීම සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල කරමින්, නීතිඥ ශිරාල් ලක්තිලක එම ක්‍රියාවට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ප්‍රකාශ කර තිබේ. ගාල්ලේ පැවති “දිනන දකුණ” ජනහමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

ශිරාල් ලක්තිලක මහතා පෙන්වා දුන්නේ, ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 159 දෙනෙකුගේ මාසික වැටුප වන රුපියල් ලක්ෂ 477ක් පක්ෂයේ පැලවත්තේ ගිණුමට බැර වන බවත්, එය වාර්ෂිකව රුපියල් ලක්ෂ 5727ක් තරම් විශාල මුදලක් බවත්ය. මෙම මුදල් මහජනතාවගේ බදු මුදල් වන අතර, ඒවා පක්ෂ අරමුදලකට බැර කිරීම වැරදි ක්‍රියාවක් බව ඔහු අවධාරණය කළේය.

“මේ ආණ්ඩුව බලය ලබා ගත්තේ ජනතාවට බොරු කියලා. අද ඒ බොරු පොරොන්දු එකක්වත් ඉටු කරගත නොහැකිව බලා සිටිනවා. ඔවුන් ජනතාවට පොරොන්දු වුණා මන්ත්‍රී වැටුප ලබා ගන්නේ නැහැ කියලා. නමුත් දැන් ඒ වැටුප පක්ෂයේ ගිණුමට බැර වෙනවා. මෙය ජනතාව රැවටීමක්,” ලක්තිලක පැවසීය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, මෙම වැටුප් කිසිදු ආකාරයකින් ආදායම් බද්දට හසු නොවන බවත්, මෙය මහජන මුදල් අවභාවිත කිරීමක් බවත්ය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පමණක් නොව, පළාත් සභා සහ නගර සභා මන්ත්‍රීවරුන්ගේ වැටුප් ද මෙලෙස පක්ෂ අරමුදලට බැර වන බවට චෝදනා කළ ලක්තිලක මහතා, මේ අසාධාරණ ක්‍රියාවට එරෙහිව නීතිමය පියවර ගැනීමට තමන් සූදානම් බවද සඳහන් කළේය.

“අද මේ රටේ පවතින තත්ත්වය හමුවේ පරණ ක්‍රමයට දේශපාලනය කරලා වැඩක් නැහැ. අලුත් ක්‍රමවේදයකට යා යුතුයි. අපි කිසිම දේශපාලන පක්ෂයක් බලයට ගේන්න කටයුතු කරන්නේ නැහැ. අපේ අරමුණ වී තිබෙන්නේ අසාධාරණයට ලක්ව නිදා සිටින ජනතාව අවදි කර ඔවුන්ට සාධාරණය ඉටුකර දීම පමණයි,” ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart