අලහකෝන් ඔලිම්පික් විධායක කමිටු සාමාජිකත්වයෙන් ඉවත් වෙයි!

 

ජාතික ඔලිම්පික් කමිටුවේ විධායක කමිටු සාමාජිකයකු වූ රුවන් සම්පත් අලහකෝන් සිය තනතුරින් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ. ඔහු ඊයේ (05) සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජාතික ඔලිම්පික් කමිටු ලේකම්වරයා වෙත භාර දී තිබේ. ටයිකොන්ඩෝ ක්‍රීඩාවේ පුහුණුකරුවකු ලෙස කටයුතු කරමින් ඔලිම්පික් කමිටුවේ තනතුරක් දැරීම සම්බන්ධයෙන් ඇති වූ නෛතික ගැටලුවක් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව පැවසේ.

1973 අංක 25 දරන ක්‍රීඩා පනතට අනුව, ක්‍රීඩා සංගමයක වෘත්තීය පුහුණුකරුවකුට හෝ ක්‍රීඩකයකුගේ නියෝජිතයකුට එම සංගමයක තනතුරක් දැරිය නොහැක. රුවන් අලහකෝන්, ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනයේ ලේකම් ලෙස පත්වීමෙන් අනතුරුව, ජාතික ඔලිම්පික් කමිටුවේ විධායක සභිකයකු බවට පත්විය. කෙසේ වෙතත්, ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ ටයිකොන්ඩෝ ප්‍රධාන පුහුණුකරුවකු ලෙස වැටුප් ලබන බවට සාක්ෂි සොයා ගැනීමත් සමඟ, ඔහුගේ තනතුරේ නීත්‍යානුකූලභාවය පිළිබඳව ප්‍රශ්න මතු විය.

මීට පෙර ජාතික ඔලිම්පික් කමිටුවේ හිටපු ලේකම් මැක්ස්වෙල් ද සිල්වාගේ දූෂණ චෝදනා විමර්ශනයට ලක්කිරීමට ආචාරධර්ම කමිටුව නිර්දේශ කළ අවස්ථාවේදී, එම විමර්ශනය යටපත් කිරීමට කටයුතු කළ සාමාජිකයන් අට දෙනා අතර රුවන් අලහකෝන් ද සිටි බව වාර්තා වේ. කෙසේ වෙතත්, මැක්ස්වෙල් ද සිල්වාට පනවන ලද තහනමෙන් පසු අලහකෝන් හට එම රැකවරණය අහිමි විය.

ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා, අලහකෝන්ගෙන් ඔහුගේ පුහුණුකරු තත්ත්වය පිළිබඳව විමසූ විට, ඔහු තමන් වැටුප් නොලබන උපදේශකයකු පමණක් බව ප්‍රකාශ කර තිබේ. නමුත් කැලණිය විශ්වවිද්‍යාලයෙන් කරන ලද ලිඛිත විමසීමකදී, ඔහු වැටුප් ලබන පුහුණුකරුවකු බව තහවුරු විය. ඒ අනුව, ඔලිම්පික් කමිටුව ඔහුට එරෙහිව දඬුවම් දීමට පෙර නිදහසට කරුණු විමසීමට සූදානම්ව සිටියදී, අලහකෝන් සිය තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart