නඩු ගොනුවේ පිටු ඉරූ නීතීඥයාගේ ලෝගුව ගැලවේ

 

අභියාචනාධිකරණයේ නඩු ගොනුවක පිටු අනීතික ලෙස ඉරා ඉවත් කිරීමේ චෝදනාවට වරදකරු වූ නීතිඥ ඩබ්ලිව්.ඩී. ධර්මසිරි කරුණාරත්නගේ නීතිඥභාවය අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (6) නියෝග කළේය.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනි වික්‍රමසිංහ සහ අචල වෙංගප්පුලි යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.

අභියාචනාධිකරණයේ ලේඛකාධිකාරීවරයා විසින් මරදාන පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව, අදාළ නීතිඥවරයා අභියාචනාධිකරණයේ ලේඛනාගාරයට පිවිස නඩු ගොනුවකින් පිටු දෙකක් ඉරා ඉවත් කර ඇති බවට චෝදනා එල්ල විය.

මෙම චෝදනා සම්බන්ධයෙන් විභාගයක් පැවැත්වීමෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ අගවිනිසුරුවරයා, නීතිඥවරුන් ලෙස පිළිගෙන බඳවා ගන්නේ හොඳ කීර්තියක්, දක්ෂ දැනුමක් සහ හැකියාවක් ඇති පුද්ගලයන් පමණක් බව අවධාරණය කළේය. නීතිඥයෙකුට අපේක්ෂිත ප්‍රමිතීන් පවත්වා ගැනීමට නොහැකි නම්, ඔහුට තවදුරටත් එම තනතුරේ කටයුතු කිරීමට අවසර දිය නොහැකි බවත්, මෙම ක්‍රියාව සමස්ත නීති වෘත්තියේ කීර්ති නාමයට විශාල කැළලක් බවත් අගවිනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කර තිබිණි.

ඒ අනුව, අධිකරණ සංවිධාන පනතේ 42 වන වගන්තිය ප්‍රකාරව වගඋත්තරකාර නීතිඥවරයා වහාම නීතිඥභාවයෙන් ඉවත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. මෙම තීන්දුව අනුව කටයුතු කර අවශ්‍ය ඉදිරි පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල එහි රෙජිස්ට්‍රාර්වරයාට වැඩිදුරටත් නියෝග කළේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart