හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අල්ලස් චෝදනාවක් සම්බන්ධයෙන් අපේක්ෂිත ඇප ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සම විභාග කිරීම සැප්තැම්බර් 01 වන දින දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද (අගෝස්තු 7) නියෝග කළේය.
මෙම පෙත්සම අද දින කොළඹ මහාධිකරණ විනිසුරු ඉන්ද්‍රිකා කාලිංගවංශ මහත්මිය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී, අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි සහකාර අධ්‍යක්ෂිකා සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය ප්‍රකාශ කළේ නඩුකරයට අදාළ නොතීසි තම කොමිසමට නොලැබුණු බවයි. ඇය වැඩිදුරටත් සඳහන් කළේ ලැබුණු තොරතුරු මත පමණක් අද දින අධිකරණයට පැමිණි බවයි.
පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා කියා සිටියේ, නොතීසි නිසි පරිදි භාර දී තිබුණත් යම් අතපසුවීමක් සිදුවන්නට ඇති බවයි. කෙසේ වෙතත්, අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට පැමිණ සිටින බැවින් පෙත්සම අද දින සලකා බැලිය හැකි බවට ඔහු කරුණු දැක්වීය.
නමුත් මහාධිකරණ විනිසුරුවරිය තීරණය කළේ, නොතීසි නිසියාකාරව නිකුත් කිරීමකින් තොරව පෙත්සම විභාග කළ නොහැකි බවයි. ඒ අනුව, ඇය පෙත්සම සැප්තැම්බර් 01 දිනට කල් තැබූ අතර, එදිනට පෙර අල්ලස් කොමිසම වෙත නොතීසි නිකුත් කරන ලෙස නියෝග කළාය.
හිටපු ධීවර අමාත්‍යවරයා ලෙස කිරින්ද ධීවර වරායේ වැලි කැණීම් කටයුතු කොරියානු සමාගමකට පැවරීමෙන් රජයට රුපියල් ලක්ෂ 262කට අධික පාඩුවක් සිදුකළ බවට රාජිත සේනාරත්න මහතාට අල්ලස් කොමිසම විසින් චෝදනා එල්ල කර ඇත. මෙම චෝදනා සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් ඉල්ලා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම ප්‍රතික්ෂේප වීමෙන් අනතුරුව, මහෙස්ත්‍රාත් අධිකරණයේ තීන්දුව ප්‍රතිශෝධනය කර අපේක්ෂිත ඇප නියම කරන ලෙස ඉල්ලා ඔහු කොළඹ මහාධිකරණයට මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.