කවුඩුල්ල ජාතික වනෝද්‍යානය බලන්න දිගු පෝලිමක්!

 

දෙස් විදෙස් සංචාරකයන්ගේ ප්‍රධාන ආකර්ෂණයක් වන කවුඩුල්ල ජාතික වනෝද්‍යානය නැරඹීමට පැමිණෙන පිරිස්, ප්‍රවේශපත් ලබාගැනීමේදී දැඩි අපහසුතාවට පත්ව ඇති බව වාර්තා වේ.

විශාල සංචාරක පිරිසක් පැමිණියද, ප්‍රවේශපත් නිකුත් කිරීම සඳහා නිසි ක්‍රමවේදයක් නොමැතිවීම හේතුවෙන් පැය ගණනාවක් දිගු පෝලිම්වල රැඳී සිටීමට සිදුව ඇත. අගෝස්තු නිවාඩු සමය සහ විදෙස් සංචාරකයන් වැඩි වශයෙන් පැමිණීම නිසා මෙම තත්ත්වය උග්‍ර වී තිබේ.

මෙම ප්‍රමාදය නිසා සතුන් නැරඹීමට ඇති හොඳම අවස්ථා මගහැරෙන බවට සංචාරකයන් සහ මඟ පෙන්වන්නන් චෝදනා කරයි. ප්‍රවේශපත් නිකුත් කිරීමට සීමිත නිලධාරීන් පිරිසක් පමණක් සිටීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව බව සඳහන් වේ.

තාක්ෂණය දියුණු මේ යුගයේ මාර්ගගත ක්‍රමවේදයක් (online system) මගින් ප්‍රවේශපත් නිකුත් කිරීමට කටයුතු කර, සංචාරකයන්ට අපහසුවකින් තොරව වනෝද්‍යානය නැරඹීමට අවස්ථාව සලසා දෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටී. මෙවැනි ගැටලු නිසා මෙරට සංචාරක කර්මාන්තයට ලැබිය හැකි විදේශ විනිමය අහිමිවන බව ද බොහෝ දෙනාගේ මතයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart