පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් ලබන සතියේ සිට දැවැන්ත විරෝධතාවක් ආරම්භ කිරීමට විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එකමුතුව තීරණය කර තිබේ.
මෙම තීරණයට එරෙහිව එම එකමුතුව පසුගිය සතියේදී ජාත්‍යන්තර සංවිධාන තුනක් වන ජිනීවා මානව හිමිකම් සංවිධානය, ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය, සහ යුරෝපා පාර්ලිමේන්තු සංගමය වෙත මෙන්ම අසල්වැසි ඉන්දීය රජයට ද පැමිණිලි කර ඇත. තවද, ඔවුන්ගේ ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ද ලිපියක් යොමු කර තිබේ.
විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එකමුතුවේ ලේකම්, හිටපු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ මහතා පවසන්නේ, මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන මරු පහරක් බවයි. “රජය හිටපු ජනාධිපතිවරුන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාදවලට අත තැබීමෙන් පසු මීළඟට අත තබන්නේ රාජ්‍ය සේවකයන්ටයි” යනුවෙන් ඔහු සඳහන් කළේය.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ, විශ්‍රාම වැටුප අහෝසි කළහොත් අධිකරණයට යන බවත්, අතීතයට බලපැවැත්වෙන පරිදි නීති සම්මත කළ නොහැකි බවට ඇති නීතිමය කාරණය පිළිබඳව අධ්‍යයනය කරමින් සිටින බවත්ය.
මේ අතර, හිටපු ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් ද විශ්‍රාම වැටුප අහෝසි කළහොත්, පක්ෂය විසින් ඔවුන්ගෙන් ලබාගත් මන්ත්‍රී වැටුප ඉල්ලා අධිකරණයට යෑමට තීරණය කර ඇත. හිටපු මන්ත්‍රී නන්දන ගුණතිලක මහතා මේ සම්බන්ධයෙන් දැඩි ලෙස අදහස් දක්වමින් කියා සිටියේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට උත්සාහ කළහොත් මරාගෙන මැරෙන්නට වුවද සූදානම් බවයි.
මෙම ගැටලුව ඇති වූයේ පසුගිය බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මන්ත්‍රී විශ්‍රාම වැටුපද කපා හරින බවට ප්‍රකාශ කිරීමෙන් පසුවය.