ලොව පුරා අලිඇතුන් සංරක්ෂණය හා ආරක්ෂාව වෙනුවෙන් ප්‍රකාශයට පත්කළ ‘ලෝක අලිඇතුන්ගේ දිනය’ අදට (අගෝස්තු 12) යෙදී තිබේ.
අප්‍රිකානු සහ ආසියානු වනඅලි සහ හීලෑ අලිඇතුන් රැකබලා ගැනීම, අලි ඇතුන් දඩයම් කිරීම, විකිණීම, අලි වාසස්ථාන ආරක්ෂා කිරීම සහ ගෘහාශ්‍රිත අලිඇතුන්ට නිදහසේ ජීවත්වීමට අවශ්‍ය කටයුතු සඳසා අරමුණ කරගනිමින් 2012 වසරේ දී මෙම දිනය ප්‍රකාශයට පත්කරන ලදී.
එතැන් සිට මේ දක්වා වූ කාලය තුළ ලොව රටවල් 100කට අධික සංඛ්‍යාවක් මෙම දිනය පිළිගෙන සැමරීම කරනු ලබයි.සොබාදහම සංරක්‍ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමයට අනුව අද වනවිට අප්‍රිකානු අලි ‘අවදානමට ලක්විය හැකි’ ලෙසත් ආසියානු අලි ‘වඳවීමේ තර්ජනයට ලක්ව ඇති’ ලෙසත් රතු ලැයිස්තුවේ ලැයිස්තුගත කර ඇත.
වර්තමානය වනවිට අප්‍රිකානු අලිඇතුන් ලක්ෂ 4ක් පමණද, ආසියානු අලිඇතුන් 50,000කට ආසන්න සංඛ්‍යාවක්ද සිටින බවටද ඇස්තමේන්තු කර තිබේ. ඉන් ශ්‍රී ලංකාවේ ඇස්තමේන්තුගත වනඅලි ගහනය 7,500ක් බව සඳහන්ය.ශ්‍රී ලංකාවේ අලි ඇතුන්ගේ කතාව දැන් ඇත්තේ ඉතා ඛේදනීය තැනකය. දශක ගණනාවක් තිස්සේ සිට අප මේ ගැන කතා කළද, එම දශක කිහිපයම දිනෙන් දින ගෙවී ගියේ අලින්ට, අලින්ගේ නිජ බිම්වලට, අලින්ගේ සංක්‍රමණික මාර්ගවලට සහ ඔවුන්ගේ වාසභූමිවලට යහපතක් උදාවීමෙන් තොරවය.
අලි-මිනිස් ගැටුම දිනෙන් දින උග්‍රවී වාර්ෂිකව අලි මරණ 450 ක් දක්වා වර්ධනය වීම සුළුවෙන් තැකිය හැකි සංසිද්ධියක් නොවේ.
අලි-ඇතුන් බුරුතු පිටින් මියයන්නේ එසේ ඔවුන් රැකගන්නට සැබෑ සැලසුමක් නැති බැවින් යන්න පරිසරවේදීන්ගේ ප්‍රධාන චෝදනාවයි.
2011 වසරේදී සිදුකරන ලද අවසන් වන අලි සංගණනයට අනුව මෙරට කැලෑ තුළ වෙසෙන වන අලි සංඛ්‍යාව 5879 ක් විය. එනමුත් නව සංගණනයක්ද 2024 වසරේ අගෝස්තු මාසයේදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකරන්නට යෙදිණි. එනමුත් එම සංගණන දිනයේදී වර්ෂාව පැවති නිසා සිදුකරන ලද සංගණනය දෝෂ සහිත අසාර්ථක සංගණනයක් බව පරිසරවේදීන්ගේ අදහසයි.
අලින් අතර සුවිශේෂ පිරිස ඇතුන් ය. එය අතිශයෝක්ති කතාවක් නොවේ. සංචාරක ආකර්ෂණය දිනාගත් ඇත් පරපුර නිසා මෙරටට ඩොලර් උපයා ගැනීමේ මඟ විවරවී ඇත.මේ දිනවල බොහෝ අයගේ මාතෘකාව ගල්ගමුව ඇත් පරපුරේ ‘කාවන්තිස්ස’ මහ ඇතු ගැනය. ඒ කාවන්තිස්ස පසුපසද වෙඩික්කරුවෝ හඹා යන බවට පැතිරෙන කතාවක් නිසාය. මීට සති කිහිපයකට පෙර කතා කළේ වෙඩි වැදී වැටී සිට අකාලයේ මියගිය ‘භාතිය’ ගැන ය.. විටෙක ගල්ගමුවේ පූට්ටුවා, සියඹලන්ගමුවේ මහ ඇතා, රේවත, භරණ, චන්ඩි, දීඝදන්තු 1-2, වළගම්බා වැනි ඇත්තු ගැනද අපි විටින් විට කතා කළෙමු. නැතහොත් කුමන දළ පූට්ටුවා, සැන්ඩෝ, ගැමුණු වැනි දකුණේ ඇතුන් ගැන කාලයක් අවධානය යොමු කළෙමු.
එනමුත් මේ ඇතුන්ගෙන් වැඩි දෙනා අද ජීවතුන් අතර නැත.
වන අලින්ට ප්‍රතිකාර කිරීම සදහා ජංගම වෛද්‍ය ඒකකයක් ක්‍රියාත්මක බව, පරිසර අමාත්‍ය ධම්මික පටබැදි මහතා පවසයි.
අමාත්‍යවරයා පැවසුවේ, වනජීවි දෙපාර්තමේන්තුවේ අඩුපාඩුවක්ව පවතින භෞතික සම්පත් මිලදී ගැනීමට අදාළව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවයි.