රාජ්‍ය නොවන සංවිධාන රාශියක් ලියාපදිංචි කිරීම සඳහා සුදුසුකම් ලබා ඇතත්, මාර්තු මස 18 වන දින සිට මේ දක්වා එකදු රාජ්‍ය නොවන සංවිධානයක්වත් ලියාපදිංචි කිරීමට රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය කටයුතු කර නැති බව සියලු සුදුසුකම් සපුරා ලියාපදිංචිය අපේක්‍ෂාවෙන් සිටින රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයන් පවසති.
රාජ්‍ය නොවන සංවිධාන පිලිබඳ ජාතික ලේකම් කාර්යාලයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම වසරේ මාර්තු මස 18 වන ද ඉල්ලා අස්වීමෙන් පසු, මේ දක්වා එම තනතුරට කිසිදු පුද්ගලයකු පත් කිරීමට හෝ වැඩ බැලීමේ පදනම සඳහා නිලධාරියෙකු නිසි ආකාරයට පත් කර නොමැතිවිම එම තත්ත්වයට හේතුවී තිබේ.
පසුගිය වසර දෙකක කාලය තුළ, හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ මෙහෙයවීම යටතේ එම කාර්‍යාලයේ නිලධාරීන් විසින් දියුණු කාර්යක්ෂම සේවයක් ලබාදුන් ආයතනයත් මෙසේ කෙටි කලකින් බිඳවැටීම පිළිබඳ විමතියට පත් වන බව රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයින් කිහිප දෙනෙක්ම පැවසුහ.
ඔවුන් පවසා සිටියේ රජය විසින් මේ පිළිබඳ දැඩි අවධානය යොමු කොට, ඉක්මනින් රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයට සුදුසු පුද්ගලයෙකු අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා පත්කළ යුතු බවයි.
මෙම පත්කිරිම ප්‍රමාද කිරිම පිටුපස අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරියකගේ අකාර්යක්ෂමතාවය හෝ මෙම තනතුර සඳහා ඇයව වැඩ බැලීමේ පදනමින් පත්කරවාගෙන වැටුපක් ලබා ගැනීමේ යටි අරමුණක් පැවතිය හැකි බවද අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය යටතේ පාලනය වේ.
රාජ්‍ය නොවන සංවිධාන නියාමනය සඳහා නව පනත් කෙටුම්පතක්
මේ අතරතුර රාජ්‍ය නොවන සංවිධාන නියාමනය සඳහා නව පනත් කෙටුම්පතක් ගෙන ඒමට අමාත්‍යංශය විසින් තීරණය කොට ඇති බවද අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
එම පනත හරහා ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන සියලු රාජ්‍ය නොවන සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ අධීක්ෂණයට හා නියාමනය යටත් කෙරෙනු ඇත.