ශ්‍රී ලංකාවේ සිදුවූ දරුණු මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් වින්දිතයන්ට යුක්තිය ඉටු කර ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියාකලාපය ප්‍රධාන බාධාවක් වී ඇති බව එක්සත් ජාතීන්ගේ නවතම වාර්තාවක සඳහන් වේ. මෙම වාර්තාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝල්ටර් ටර්ක්ගේ ශ්‍රී ලංකා සංචාරයෙන් පසු සකස් කරන ලද අතර, ‘ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය’ ලෙස නම් කර ඇත. මෙම වාර්තාව සැප්තැම්බර් 8 වන දින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 60 වන සමුළුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
වාර්තාවට අනුව, යුක්තිය ඉටු නොවීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුව සතු නඩු පැවරීමේ නිදහස, තහවුරු නොකළ සාක්ෂි මත ක්‍රියා කිරීමට ඇති අකමැත්ත, පොලිස් විමර්ශන සඳහා ඇති සීමිත හැකියාව, සහ සුදුසුකම්ලත් අධිකරණ වෛද්‍ය නිලධාරීන් හා දෙමළ කතා කරන නිලධාරීන්ගේ හිඟයයි. එසේම, යුද සමයේ සිදුවූ මානව හිමිකම් කඩවීම්, ලිංගික ප්රචණ්ඩත්වය, සහ ආරක්ෂක අංශ සාමාජිකයන් සම්බන්ධ නඩු සඳහා යුක්තිය ඉටු නොවීම අඛණ්ඩව සිදුවන බවද වාර්තාව පෙන්වා දෙයි.
මෙම වාර්තාවේ නිරීක්ෂණ තහවුරු කිරීම සඳහා සංකේතාත්මක සිදුවීම් කිහිපයක් උදාහරණ ලෙස දක්වා ඇත. ඒවා අතර, මේ දිනවල නැවත කතාබහට ලක්ව ඇති ක්‍රිෂාන්ති කුමාර්ස්වාමි දූෂණය කොට මරා දැමීමේ සිද්ධිය, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, සහ කාටූන් ශිල්පි ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීම ද ඇතුළත් වේ. මෙම සිදුවීම් හරහා ශ්‍රී ලංකාවේ යුක්ති පද්ධතියේ පවතින ගැටළු වඩාත් පැහැදිලිව ඉදිරිපත් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය උත්සාහ කර ඇත.